
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නීතිඥවරියක ලෙස වෙස්ගෙන ගිනි අවියක් රැගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නැමැති ප්‍රධාන සැකකාරියගේ මව සහ සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 23ක් වූ පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ සහ එම ලිපිනයෙහිම පදිංචි වයස අවුරුදු 48ක් වූ සේසත්පුර දේවගේ සමන්ති යන අය බව පොලිසිය සඳහන් කරයි.
මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනුමක් තිබියදී එම තොරතුරු වසන් කිරීම සහ අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය.
මෙම සිද්ධියට අදාළව දැනට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්නා තැන දන්නා බව පොලිසිය අනුමාන කර තිබේ.
මතුගම ප්‍රදේශයේ ඇය සැගව ඇතැයි යන සැකයට කළ සොයා බැලීම් සාර්ථක නොවූ අතර අනෙක් සියලු ප්‍රදාන සැකකරුවන් හසුව තිබියදී ඇය පමණක් තවදුරටත් සැගව සිටීම පොලිසියට ගැටලුවක්ව තිබේ. මේ වනවිට ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරු ලබාදෙන අයට තෑගි ලබාදෙන බව පවා පොලිසිය පවසා ඇති අතර ඇය හමුවනතුරු පවුලේ අය රදවා තබාගැනීමක් දැන් සිදුව ඇති බව පැහැදිලිය.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval