allegations-that-the-infant-died-due-to-hospital-negligence

උණ හැදී රජයේ රෝහලකට ඇතුළත් කළ අවුරුදු එකයි මාස නවයක් වූ සිඟිති දියණිය රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් මරණයට පත් වූ බවට චෝදනා කරමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ යුද හමුදා සෙබළකු ජනාධිපතිවරයාට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මෙවැනි වැරදීමකින් තවත් දරුවකුගේ ජීවිතයට මෙවන් ඉරණමක් අත්කර නොදීමට වගබලාගන්නා ලෙසත් ඉල්ලා සෙබළ සුරංග පුෂ්ප කුමාර මහතා සිය ඉල්ලීම පාර්ලිමේන්තුවට, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර ඇමැතිවරයාට සහ මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට ද යොමු කර තිබේ.

මාතලේ, ලග්ගල, හත්තොටඅමුණ, කන්දෙපිටවල ගම්මානයේ පදිංචි සුරංග පුෂ්ප කුමාර මහතා සහ ඔහුගේ බිරිය ඩබ්ලිව්.ජී. කුමුදුනි රේණුකා රත්නායක දෙපළ මාතලේ ලග්ගල ප්‍රාදේශීය රෝහලේ පරිපාලනයට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

වයස අවුරුදු එකයි මාස නවයක් වූ අමීෂා ගිම්හානි නම් වූ දියණිය පසුගිය 15 වැනි දින උදෑසන උණ සහ වමනය යෑම හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත්, එදින සිට දින දෙක හමාරකට අධික කාලයක් මිශ්‍ර වාට්ටුවක තබාගෙන නිසි ලෙස අවධානයක් යොමු නොකර රඳවාගෙන සිටි බවත් මව වන රේණුකා රත්නායක මහත්මිය චෝදනා කරයි.



තම දියණිය ආහාර නොගෙන මලානිකව හඬා වැටෙමින් සිටින බවත්, ඇගේ අසනීපය උග්‍ර තත්ත්වයට හැරී ඇති බවත් තමා රෝහලේ වෛද්‍ය නිලධාරීනියට දැනුම් දුන්නද, ඇය ඒ සඳහා නිසි අවධානයක් යොමු නොකළ බවට රේණුකා රත්නායක මහත්මිය චෝදනා කරන්නීය.

"උණ සෑදුණු වැඩිමල් අයටද ආහාර අරුචිය ඇතිවන බව" පවසමින් වෛද්‍ය නිලධාරිනිය ප්‍රතිචාර දැක්වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තද, රෝගීන් බැලීමට වෛද්‍ය නිලධාරිනිය වාට්ටුවට නොපැමිණි බැවින් තමන් දරුවා රැගෙන ගොස් බාහිර රෝගී අංශයට පැමිණ වෙනත් වෛද්‍යවරයකුට පෙන්නූ බවත් ඇය සඳහන් කළාය.

දින දෙකහමාරකට පසුව ලග්ගල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට තමන් කළ ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂා කිරීමේදී දියණියට අසාධ්‍ය බව පවසා දඹුල්ල රෝහලට මාරුකර යැවූ බවත්, දඹුල්ල මූලික රෝහලේ දිනක් ප්‍රතිකාර කර දියණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පවසා අනුරාධපුර රෝහලට මාරුකර යැවූ බවත් දියණියගේ මව පැවසුවාය.

අවාසනාවන්ත ලෙස, අනුරාධපුර රෝහලේදී අමීෂා ගිම්හානි දියණිය මියගිය බවත්, මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබා නොදී ඇති බවත්, සිරුරේ කොටස් පරීක්ෂණවලට යොමු කර තිබෙන බවත් මවුපියෝ චෝදනා කරති.


අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තම දියණියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවත්, ඇයට විජලනය (dehydration) හා ආසාධිත තත්ත්වයක් නිරීක්ෂණය වූ බව පැහැදිලි කළ බවත් මවුපියෝ සඳහන් කළහ.

ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් තම දියණිය දඹුල්ල රෝහලට මාරු කර යවන අවස්ථාවේ මූලික ප්‍රතිකාර සටහන් පත්‍රිකා කිසිවක් යවා නැති බවටද මවුපියෝ චෝදනා කරති.


මෙම මවුපියා ලග්ගල පොලීසියට පැමිණිල්ලක් කරමින් තම දරුවාට සහ තමන්ට සිදුවූ මෙම අසාධාරණය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මවුපියන් නගන චෝදනා ගැන ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් කරුණු විමසීමට එහි ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමට ප්‍රාදේශීය රෝහලේ පොදු දුරකථන අංකයට පසුගිය 23 වැනි දින ඇමතුම් කීපයක් ලබා ගත් අතර, එහිදී රෝහලේ කාන්තාවක රාජ්‍ය සේවයට සුදුසු නොවන ආකාරයට ඔවුන්ගේ පෞද්ගලික දුරකථනයකට ලැබුණු ඇමතුමක් හා සමානව කතාකර කිසිවක් නොකියා දුරකථනය විසන්ධි කිරීම විශේෂත්වයකි.




වාර්තාකරුවන් ලග්ගල රෝහලට ගොස් ස්ථාන භාර වෛද්‍ය නිලධාරිනී ජී. කාර්තිකා මහත්මියගෙන් මේ බව විමසීමේදී ඇය සහ තවත් වෛද්‍යවරියක පැමිණ ජනමාධ්‍යවේදීන් හඳුනා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා රජයෙන් නිකුත් කර ඇති ජනමාධ්‍යවේදී හැඳුනුම්පත ඉල්ලා සිටියාය.

අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඇය සඳහන් කළේ තමන්ට මේ සිද්ධිය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට නීතියෙන් අවසර නැති බවයි. මියගිය දියණියගේ මව සහ පියා නඟන චෝදනා සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා ලබන 27 වැනිදා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වා ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ධර්ම රාජ් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පැමිණිල්ලක් ලැබී තිබෙන බවත්, ඒ සඳහා නීති උපදෙස් ලබාගෙන ඉදිරියේදී පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි.

මෙම දියණියගේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මව සහ පියා නඟන චෝදනා සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 27 වැනි බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දෙමාපියන්ට දන්වා ඇතැයි ඔහු සඳහන් කළේය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධිකාරීන් මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැති නමුත්, ප්‍රාදේශීය රෝහල්වල රෝගී සත්කාර තත්ත්වය පිළිබඳව ජනතාව අතර සැලකිය යුතු කතිකාවක් ඇති වී තිබේ.

රටේ ප්‍රාදේශීය රෝහල්වල ඇතැම් විට ඇතිවන වෛද්‍ය උපකරණ හිඟය, පුහුණු කාර්ය මණ්ඩල හිඟය සහ නිසි ප්‍රතිකාර ක්‍රමවේද නොමැතිකම වැනි ගැටලු නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දෙති.

මියගිය අමීෂා ගිම්හානි දියණියගේ සිදුවීම තුළින් මතුවන නොසැලකිලිමත්කම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අධිකාරීන් විසින් විධිමත් පරීක්ෂණයක් පවත්වා දෙමාපියන්ට සාධාරණයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.



මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට නම් ප්‍රාදේශීය රෝහල්වල රෝගී සත්කාර කටයුතු වඩාත් විධිමත් කිරීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල වගකීම තහවුරු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහසයි.

ජනාධිපති කාර්යාලය විසින් 27 වැනි දින සිදුකිරීමට නියමිත සාකච්ඡාවෙන් පසු මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද සාකච්ඡා කිරීමට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.