
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ජාතික ජන බලවේගය විසින් ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වුවද, පසුගියදා නීතිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් මෙම සිද්ධිය නව මාවතකට යොමු වී තිබේ. මෙම තීරණය සමාජමාධ්‍ය තුළ දැඩි විරෝධයට ලක්ව ඇත.
2009 ජනවාරි 8 වැනි දින රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව පසුගිය ජනවාරි 27 වැනි දින නිකුත් කරන ලද ලිපියකින් හෙළි විය. මෙම තීරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ රජය තවමත් මෙම කරුණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.
නිදහස් කිරීමට යෝජනා කර ඇති සැකකරුවන් තිදෙනා වූයේ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් මේජර් ප්‍රේමානන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අයයි.
2016 ජූලි මාසයේදී පළමු සැකකරු වන උදලාගම අත්අඩංගුවට ගැනීමත් සමඟ පරීක්ෂණය නව මාවතකට යොමු විය. ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවකදී උදලාගම හඳුනාගත් අතර, රිවිර පුවත්පත් කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට ද ඔහු සම්බන්ධ බව චෝදනා එල්ල විය.
2018 පෙබරවාරි මාසයේදී අනෙක් සැකකරුවන් දෙදෙනා වන සුගතපාල සහ නානායක්කාර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන්ට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීමයි.
පරීක්ෂණය අතරතුර විවිධ බාධක මතු විය. 2016 ඔක්තෝබර් මාසයේදී විශ්‍රාමික යුද හමුදා සාමාජිකයෙකු සිය දිවි නසාගැනීමෙන් පසු තමන් ඝාතනයට වගකිව යුතු බව පවසමින් ලියුමක් තබා තිබුණද, විමර්ශකයින් එය පරීක්ෂණය නොමඟ යැවීමේ උත්සාහයක් ලෙස සැලකීය.
ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපති සුගතපාලට එල්ල වූ තර්ජන ගැන ද අනාවරණ විය. නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර විසින් ඔහුට "මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ" යනුවෙන් තර්ජනය කර ඇති බව වාර්තා විය.
දැනට වසර 16ක් ගතවී ඇති මෙම ඝාතන පරීක්ෂණය තවමත් අවසන් නැත. නීතිපතිවරයාගේ මෑත තීරණය සමජ මාධ්‍ය තුළ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ද දැඩි විරෝධයට ලක්ව ඇති අතර, මෙය රජයේ පැවැත්මට ද බලපෑමක් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 950ක පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඉන් 295ක් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval