bank-accounts-of-doctor-suspected-in-onmax-dt-fraud-case-to-be-investigated

ඔන්මැක්ස් ඩී.ටී නමැති නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන ගණනක මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව කියන සැකකාර වෛද්‍යවරයකුගේ සියලු බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (5දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.




සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව එම සැකකාර වෛද්‍යවරයාද මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඔහු මෙම සිද්ධියේ එකොළොස්වැනි සැකකරු වශයෙන් නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. ඒ අනුව සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීම සලකා බැලූ අධිකරණය එම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් මේ වනවිට තැන්පත්කරුවන්ගෙන් පැමිණිලි 13,000ක් පමණ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළහ. නීතිපතිවරයාගේ උපදෙස් මත එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔවුහු පැවසූහ.


මෙම සිද්ධියේ හයවන සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමටද අධිකරණය අවසර ලබා දුන්නේය.
මේ අතර, සිද්ධියට වසර දෙකකට අධික කාලයක් ගතව ඇතත් පැමිණිලිකාර තැන්පත්කරුවන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව පෙන්වා දෙමින් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ විශේෂ අවධානය යොමු කරවා සිටියහ.
ඒ අනුව පැමිණිලිකරුවන්ට අදාළ මුදල් ආපසු ලබා දීම සඳහා මහ බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නාය.
තවද, දෛනිකව ලැබෙන නව පැමිණිලි සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විස්තරාත්මක විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.