
පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු රජයේ ගිනි අවියක් රැගෙන රටින් පලා ගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිවේදී බුද්ධික මනතුංග මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනාවරණයට අනුව, අදාළ පොලිස් නිලධාරියා සිය රාජකාරි ටී-56 ගිනි අවිය හා උණ්ඩ වලට කුමක් කළේදැයි නොදන්වා ඩුබායි රාජ්‍යයට පලායාම සිදුකර ඇත.
ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.මෙම සිද්ධියට අදාළ විස්තරාත්මක තොරතුරු අනුව, එම කොස්තාපල්වරයා පෙබරවාරි 08 වන දින සවස 5.30ට පමණ අදාළ නිලධාරියා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ රාජකාරී සඳහා ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ලබාගෙන පිටත්ව ගොස් තිබේ. කෙසේ නමුත්, ඔහු නියමිත මාර්ගබාධක රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් පොලිස් අධිකාරීන් විසින් ඔහුගේ ජංගම දුරකථනයට අමතා ඇතත්, ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම කොස්තාපල්වරයා එදිනම රාත්‍රී 10.15ට පමණ ඩුබායි රාජ්‍යය බලා ගුවන්ගත වී ඇති බවයි.
මෙම බරපතල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැඩි පියවර ගනිමින් සිටී. පලා ගිය නිලධාරියා නැවත මෙරටට භාර ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ (ඉන්ටපෝල්) සහය ඉල්ලා සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය. එමෙන්ම, නීති විරෝධී ලෙස රැගෙන ගිය ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායම් හතරක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval