how-monkeys-plunged-into-complete-darkness-in-kenya-and-assam

වඳුරෙකු විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මත වැටීම හේතුවෙන් කෙන්යාව පුරා පැය හතරක දීප ව්‍යාප්ත විදුලි බිඳවැටීමක් ඇති වූ සිද්ධියක් මීට කලකට ඉහත වාර්තා විය. එසේම වඳුරන්ගේ බලපෑමට ඉතාම මෑතක ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ගම්මාන 300 කට බලපෑ මීට සමාන සිදුවීමක්ද වාර්තා විය. මේවා ශ්‍රී ලංකාවේ අද සිදුවූ විදුලි බිඳ වැටීමට සමාන සිදුවීම් වන අතර, සතුන්ගෙන් විදුලි යටිතල පහසුකම්වලට සිදුවන බලපෑම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.





කෙන්යාවේ විදුලිබල සැපයුම්කරු වන කෙන්ජෙන් (KenGen) ආයතනය හදිසි බිඳවැටීම සිදුවූ 2016 වසරේ දන්වා සිටියේ ගිතාරු ජල විදුලි බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරයක් මත වඳුරෙකු වැටීමෙන් මෙගාවොට් 180ක විදුලි ජනන ධාරිතාවක් අහිමි වී ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු රට පුරා විදුලි සැපයුම බිඳ වැටී තිබේ.
ඔවුන් පැවසූ පරිදි, "වඳුරා ට්‍රාන්ස්ෆෝමරය මත වැටීමෙන් පසු එය අක්‍රිය වීම හේතුවෙන් අනෙකුත් ජනක යන්ත්‍රවලටද බලපෑම් එල්ල වී, අවසානයේ මුළු රටේම විදුලි ජනන හා බෙදාහැරීම් කටයුතු අඩාල විය." මෙම සිදුවීමෙන් පැය භාගයක් ඇතුළත සමහර ප්‍රදේශවලට විදුලිය යළි ලබා දී ඇති අතර, පැය තුනක් ඇතුළත බොහෝ පාරිභෝගිකයින්ට විදුලිය යථා තත්ත්වයට පත් කර තිබේ.
කෙන්ජෙන් ආයතනය කෙන්යාවේ විදුලි අවශ්‍යතාවයෙන් 80%ක් සපයන ප්‍රධානතම විදුලි ජනන ආයතනය වන නිසා මෙම සිදුවීමෙන් නිවාස මිලියන 4.7කට සහ ව්‍යාපාරික ස්ථානවලට බලපෑම් එල්ල විය.
සිදුවීමෙන් පසු වනසතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විදුලි වැටවල් මගින් ආරක්ෂා කරන්නට ඔවුන් කටයුතු කර ඇත.


ඊට සමානව, ඉන්දියාවේ කචාර් දිස්ත්‍රික්කයේ කටිගෝරා ප්‍රදේශයේද වඳුරන් පිරිසක් හේතුවෙන් සැලකිය යුතු විදුලි බිඳවැටීමක් 2024 වසරේ සිදු වී තිබේ. පන්ච්ග්‍රාම් උප පොලෙහි කිලෝවෝල්ට් 33ක අධි වෝල්ටීයතා රැහැන් සමඟ වඳුරන් පිරිසක් ගැටීම හේතුවෙන් ගම් 300කට පමණ විදුලිය අහිමි වීමක් වාර්තා විය.
. මෙම සිදුවීමෙන් විදුලි යටිතල පහසුකම්වලට හානි සිදු වී ඇති අතර, දැඩි උෂ්ණත්වයක් පවතින මෙම කාලයේ විදුලිය නැතිව ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්විය.

ආසාම් විදුලි බෙදාහැරීම් සමාගම (APDCL) මෙම බිඳවැටීම වඳුරන් නිස සිදුවූවක් යයි පිළිගනිමින් හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණි.

අද ශ්‍රී ලංකාවේ සිදු වූ දීප ව්‍යාප්ත විදුලි බිඳවැටීම සමඟ සංසන්දනය කිරීමේදී, මෙම සිදුවීම් විදුලි යටිතල පහසුකම්වල ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම වනසතුන්ගෙන් විදුලි උපකරණවලට සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා වඩාත් කාර්යක්ෂම ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව මෙමගින් පැහැදිලි වේ.

විදුලි බලාගාර, උප පොලවල් සහ සම්ප්‍රේෂණ මාර්ග ආරක්ෂා කිරීම සඳහා තාක්ෂණික විසඳුම් සොයා ගැනීම, සතුන්ගෙන් ආරක්ෂා වීමට විශේෂ වැට ඉදි කිරීම සහ අඛණ්ඩ නඩත්තු කටයුතු සිදු කිරීම වැනි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට වගබලා ගැනීම රටක ආර්ථික ස්ථායීතාවය සඳහා ඉතා වැදගත් වන බව මෙම සිදුවීම් පෙන්වා දෙයි.