charges-filed-against-child-protection-commissioner-and-principal-secretary-for-torturing-a-girl-at-yeheliya-childrens-home

අධිකරණ නියෝගයක් මත අනුරාධපුර 'යෙහෙළිය' ළමා නිවාසයේ රඳවා සිටි වයස අවුරුදු 18ට අඩු දැරියක එම ළමා නිවාසයේ සිට අනුරාධපුර 'අවන්තිදේවී' ළමා නිවාසයට නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැම් සේවයේ යොදවා කෲරත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස්වරයා මෙන්ම, වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.



නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත.

සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම ඇප නියෝගය නිකුත් කෙරිණි.

ඇප මත මුදා හැරුණු සැකකරුවන් වන්නේ, උතුරු මැද පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා හිටපු කොමසාරිස් මෙන්ම වත්මන් රාජාංගණය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රියාති යන දෙදෙනාය.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා සඳහන් කළේ, පළමු සැකකාර උපාලි රාජපක්ෂ යන අය උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරයා ලෙස රාජකාරි කරමින් සිටියදී 2020 වසරේ සිට 2021 වසර දක්වා අතර කාලය තුළ සාලියපුර "යෙහෙළිය" ළමා නිවාසයේ රඳවා සිටි, වයස අවුරුදු 18 ට අඩු දැරියක වරින් වර නීති විරෝධී ලෙස අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයට රැගෙන විත් ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

දයානන්ද මහතා තවදුරටත් අධිකරණයට කරුණු දැක්වීමේදී පැවසූ ආකාරයට, සැකකරුවන් එලෙස අදාළ දැරිය යෙහෙළිය ළමා නිවාසයේ සිට අවන්තිදේවී ළමා නිවාසයට රැගෙන විත් අවංතිදේවී ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් 53 දෙනකුට, මෙම දැරිය ලවා ආහාර පිසීමට සලස්වා දැරිය කෲරත්වයට පත් කර ඇත. මෙලෙස දැරිය අරක්කැමි සේවයේ යොදවා ඇත්තේ අවන්තිදේවී ළමා නිවාසයේ අරක්කැම් සේවය සඳහා පුද්ගලයන් සිටියදී බවද පොලිසිය පෙන්වා දෙන ලදී.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි බවද උප පොලිස් පරික්ෂකවරයා අධිකරණයට පැවසීය. ඒ අනුව මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරික්ෂකවරයා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද ඉල්ලා සිටියේය.



සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා දීර්ඝ ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ තම සේවාදායකයන්ට එරෙහිව පොලිසිය එල්ල කරන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. පොලිසිය පවසන පරිදි මෙම සිද්ධිය සිදුවී ඇත්තේ 2020 වසරේ සහ 2021 වසරේ කාලය තුළ බවත්, සිද්ධියෙන් වසර හතරකට පසුව තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමක් මතද යන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විමසා සිටියේය. ඒ අනුව, ඔහු තම සේවාදායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් සැකකරුවන් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

මෙම සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ වයස අවුරුදු 18ට අඩු දැරියක අරක්කැමි සේවයේ යෙදවීම, කෲරත්වයට පත් කිරීම සහ තැනැත්තන් වෙළඳාමේ යෙදවීම යන චෝදනා යටතේය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් සහ නීතිඥ සංජය රත්නායක මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන දැඩි අවධානයක් යොමු කර ඇති අතර,

ළමා නිවාසවල සිටින දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩාත් කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කර සිටිති. අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාස පිළිබඳ විධිමත් අධීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කම මෙම සිද්ධිය හරහා පෙන්නුම් කර ඇති බව සමාජ සේවා නිලධාරීන් පවසති.

වසර හතරකට පෙර සිදු වූ බවට චෝදනා ලැබූ මෙම සිද්ධිය දැන් අධිකරණයට ගෙන ඒමේදී ප්‍රමාදයන් සිදුවී ඇති බවත්, ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය මීට වඩා අවධාරණය කළ යුතු බවත් ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින් පෙන්වා දෙති.

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල වී ඇති අතර, ඉදිරි විභාග කටයුතු තුළදී තවත් තොරතුරු අනාවරණය වීමට ඉඩ ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගටම සිදු කරන බව පොලිසිය සඳහන් කර ඇති අතර, ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සාක්ෂි රැස් කිරීමේ කටයුතු ද සිදු කෙරෙමින් පවතී.

ළමා ආරක්ෂණ අංශයේ නිලධාරීන්ගේම මෙවැනි ක්‍රියා හෙළිදරව් වීම රටේ ළමා ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව ගැඹුරු ප්‍රශ්න මතු කර ඇති අතර, ළමා නිවාස අධීක්ෂණය, පරිවාස සේවාවන් ශක්තිමත් කිරීම සහ ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.

නඩුවේ තවදුරටත් විභාග කටයුතු ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයීය වශයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.