Korean husband offered Rs. 1.5 million to kill wife's friend

විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන ප්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. පසුගිය කාල පරිච්ඡේදය පුරාම මෙරට සිදුවූ මිනිස් ඝාතන රැසක්ම මෙහෙයවා තිබුණේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පුද්ගලයන් විසිනි. ඊට අමතරව ඉතාලිය සහ ප්‍රංශය වැනි රටවල වෙසෙන අපරාධකරුවෝද එම රටවල සිට මෙරට අපරාධ මෙහෙයවති.



ඉකුත් දිනක විදේශගතව සිට මෙහෙයවූ මෙවන් අපරාධයක් අනාවරණය කර ගැනීමට මාතලේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ටද හැකි විය. විමර්ශනයේදී හෙළිවන්නේ ඔවුන් එම අපරාධය මෙහෙයවා ඇත්තේ  කොරියාවේ සිට බවය. කොරියාවේ සිට මෙහෙයවූ අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසියකට වාර්තා වන්නේ මුල්ම වතාවට බවද කියයි.


පියල් මාතලේ, ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරු පියකු වූ ඔහුගේ බිරිය සිටින්නේ විදේශගතවය. මොහු තවත් මිතුරකුද සමඟ එක්ව මාතලේ නගරය ආසන්නයේ කොණ්ඩා කපන සැලුන් එකක් පවත්වාගෙන ගොස් තිබේ. උදෑසන විවෘත වන මෙම බාබර් සැලුන් එක හතර වටින් ඇඳිරි වැටෙද්දී වසා දැමෙන අතර පසුව ඔවුන් ඕවිලිකන්ද බලා පිටත්ව යති.මීට දින කිහිපයකට පෙර ඕවිලිකන්ද නිවෙසට යෑම සඳහා මාතලේ ගොංගාල පාරේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි අයකු මොවුන් දෙදෙනා මුණගැසී ඕවිලිකන්ද පන්සලට යන පාර අසා ඇත.


"අපිත් යන්නේ ඕවිලිකන්ද පැත්තට තමයි"



"එහෙනම් මගේ බයික් එකේම යමු" ''බැහැනේ. අපි දෙන්නෙක්ම ඉන්නවනේ"


"කමක් නැහැ. පුළුවන් විදිහට යමු" මෙලෙස ඇතිවුණු කතාබහෙන් පසු පියල් සහ මිතුරා එම යතුරුපැදියෙන් ඕවිලිකන්දට ගොස් තිබිණි. ඒ ආගිය ගමන්ද කතාබස් කරමිනි. යතුරුපැදිකරු පියල් සහ මිතුරා ඕවිලිකන්දෙන් බස්සවා නැවැත හැරී ගොස් තිබේ.කාලය මෙසේ ගෙවී ගොස් ඇත. ඒ ඉකුත් 13 වැනිදාය. සුපුරුදු පරිදි විදුලිය මුළු පළාතේම විසන්ධි වී තිබිණි.


"තව පැයක්වත් යයි ලයිට් එන්න. අපි මේ සැලුන් එක වහලා ගෙදර යමු"

පියල් සිය මිතුරාට පවසා බාබර් සාප්පුව වසාදමා සිය නිවෙස බලා යන්නට සූදානම් වූ අතර ඒ සමඟ හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් දමා ගත් පුද්ගලයකු සැලුන් එකට ඇතුළු විය.


"ලයිට් නැහැනේ. අපි මේ වහන්න හදන්නේ"


ඒ සමඟම එම පුද්ගලයා පිටව ගොස් ඇති අතර පියල් සහ මිතුරා බාබර් සාප්පුවද වසා දමා නගරය දෙසට ඇවිදගෙන ගොස් ඇත්තේ ඕවිලිකන්දට යෑමේ අදහසිනි.


මඳ දුරක් යද්දී වැගන් ආර් රථයක් මාර්ගයේ නතර කර තිබෙනු පියල් දුටු අතර ඒ අසල පුද්ගලයකුද සිටින බව ඔහුට පෙනිණි.

"කොහොමද..."

"ආ... ඔයා නේද අපිව එදා බයික් එකේ දාගෙන ගියේ"

පෙර දිනක තමා සහ සිය මිතුරා යතුරුපැදියේ ඕවිලිකන්දට රැගෙන ගියේ ඔහු බව පියල්ට වැටහිණි. ඒ සමඟම එතැනට පැමිණි තවත් අයෙකි. ඔහු හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් දමාගෙන සිටියේය. ඊට විනාඩි කිහිපයකට පෙර බාබර් සාප්පුවට පැමිණියේ ඔහු බව පියල්ට අවබෝධ විය.


"අපි යන්නේ ඕවිලිකන්දට... එන්න මේකේ යමු...


එතැනින් එහාට වචනයක්වත් කතා කරන්නට පියල්ටත් මිතුරාටත් හැකියාවක් නොලැබිණි. පියලුත්, ඔහුගේ මිතුරාත් දමාගත් වැගන් ආර් රථය පවනට බඳු වේගයෙන් ඕවිලිකන්ද, අංකුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 11ක් පමණ ඇති ලදු කැලෑවක ගල්තලාවක් අසල රථය නතර කෙරිණි. ඒ සමඟ පියල්ට සහ මිතුරාට ලැබුණේ ගුටි පූජාවකි.

එකකු පියල්ට පිහියකින් පහර දුන් අතර අනෙකාටද පොල්ලකින් පහර දෙන්නට විය. පියල්ගේ මිතුරා ඔවුන්ගෙන් බේරී පලාගිය අතර පියල් ඔවුන් තිදෙනාටම මැදිව එල්ල වූ පිහි පහරවල්ද කා එතැනම ඇදගෙන වැටිණි.


"මූ ඉවරයි වගේ... වරෙන් යමු වැඩි වෙලා මෙතැන ඉන්න හොඳ නැහැ"


තිදෙනාම ඉන් අනතුරුව පැමිණි වැගන් ආර් රථයෙන්ම නැඟ පලාගිය අතර බරපතළ තුවාල ලැබූ පියල් මඳ වේලාවක් සිහිසුන්ව සිට පසුව ඉතා අමාරුවෙන් නැගිට තිබේ.

දැඩි වේදනාවෙන් සහ අසීරුවෙන් ඔහු මාර්ගයට පිවිස එතැන සිට කිහිපදෙනකුට සිදු වූ දේ පවසා ඔවුන්ගේ මාර්ගයෙන් ඕවිලිකන්ද රෝහලට ඇතුළු වී තිබේ.


කෙසේ වෙතත් පියල්ගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහු මාතලේ රෝහලටත් එතැනින් මහනුවර රෝහලටත් මාරු කර යැවිණි. මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු ඔහුට වහා ප්‍රතිකාර ලබාදුන් අතර සිද්ධිය වහා මාතලේ පොලිසිය වෙත දැනුම්දීමටත් රෝහල් පොලිසිය පියවර ගෙන තිබිණි.


එම දැනුම්දීම මාතලේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුසිල් රත්නායක වෙත ලැබීමත් සමඟ සිදුවීම විමර්ශනය කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒකනායක ඇතුළු කණ්ඩායම වෙත පැවරිණි. උප පොලිස් පරීක්ෂක ඒකනායක වහා මහනුවර රෝහලට ගොස් තුවාලකරු පියල්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ ගත්තද ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම නිසා එම උත්සාහය අසාර්ථක විණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් පසු පියල් සමඟ පහර කෑමට ලක් වූ ඔහුගේ මිතුරා සොයා ගැනීමට හැකි වූ අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සිදුවීම අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි. ඒ අනුව එම තරුණයා සමඟ පහරදීම සිදු වූ ඕවිලිකන්දට ගිය අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් සිද්ධිය වූ ස්ථානය පක්ෂා කරන ලදී.

"අපි එතැන පරීක්ෂා කළා. ඒ ගල්තලාව මත රුධිරය ගලා ගිහින් තිබුණා. පහර දීපු ආකාරය බැලුවම පහර කෑමට ලක්වූ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක් වුණා. එතැන පිස්තෝලයක කොටස් වගයකුත් තිබුණා. ඒක පරීක්ෂා කරද්දී ඒක සෙල්ලම් පිස්තෝලයක් බවට හඳුනා ගත්තා. කෝකටත් අපි මිනීමැරුමක් විදිහට තමයි විමර්ශන සිදුකළේ." විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. තුවාල ලත් පියල්ගේ මිතුරාගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු සහ පියල් පැහැරගෙන ගිය මාතලේ නගරයට ආසන්න මත්පැන් හලක් ඇති ස්ථානයට ගිය නිලධාර්න් ඒ අවට ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කරන්නට විය.


"ඒත් ඒක වැඩක් වුණේ නැහැ. මේ කට්ටිය මේ දෙන්නා පැහැරගෙන ගිහින් තිබුණේ ලයිට් කපපු වෙලාවේ. ඒ නිසා සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලි දර්ශන තිබුණේ නැහැ.




තවදුරටත් ප්‍රශ්න කරද්දී කිව්වේ ඒ දෙන්නව දාගෙන ගියේ නිල් පාට වැගන් ආර් කාර් එකකින් කියලා. පස්සේ අපි නගරය අවට තියෙන සී.සී.ටී.වී. කැමරා චෙක් කළා, ලයිට් කපන්න කලින් ඒවයේ සටහන් වුණු රූප රාමු බලන්න. ඒවා නිරීක්ෂණය කරමින් යද්දී නිල් පැහැති වැගන් ආර් රථයක් අපිට නිරීක්ෂණය වුණා එතැනදී. රථය නගරයට ඇතුළු වන දර්ශන කිහිපයක් සොයාගන්න හැකිවුණා. අපි ඒ ඔස්සේ පරීක්ෂණ කරලා එම රථයේ අංකය හඳුනා ගත්තා. "


විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පසුව නිලධාරීන් එම රථයේ අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් පසුව එම රථය රාගම ප්‍රදේශයේ රෙන්ට් කාර් සර්විස් එකකින් කුලී පදනම මත ලබාගෙන ඇති බව අනාවරණය කරගත හැකි විය. පස්සේ අපි ඒ කාර් සර්විස් එකට ගිහින් තොරතුරු සෙව්වා. ඒ කාර් එක ඒ වෙනකොට නැවත ඒ ආයතනයට භාරදීලා තිබුණා. අපි ඒ ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී දැනගත්තා ඒ කාර් එක රුපියල් 21,000ක රෙන්ට් එකකට් අරගෙන ගිහින් කියලා. ඒක අරගෙන ගිහින් තිබුණ පුද්ගලයාගේ අයිඩ්ස්ටන්ටියේ කොපියක් ඒ ආයතනයේ තිබුණා. අපි ඒ විස්තර අරගෙන ඒ පුද්ගලයා හොයන්න පටන් ගත්තා. මිනිහා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. විමර්ශනය දිගින් දිගටම පැවැතිණි. ලොරි රියැදුරාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත ඔස්සේ ඔහුගේ ලිපිනය සොයාගත් නිලධාරීන් ඔහුගේ නිවෙස සොයා ගියද ඔහු නොසිටි අතර කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු ලග්ගල ප්‍රදේශයේ මැණික් පතලක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සිද්ධියේ සැලසුම්කරු එම ලොර් ඊයැදුරා බවට තහවුරු විය. ඒ අනුව හෙළිවන්නේ මෙවන් කතාවකි.


ලොරි රියැදුරා ඇතුළු සගයන් දෙදෙනා පියල්ට අමානුෂික ලෙස පහරදී මරා දමන්නට තැත් කරන්නේ ඔහුගේ මිතුරකුගේ කොන්ත්‍රාත්තුවකටය. එම මිතුරා සිටින්නේ කොරියාවේය. ඔහු එරට සිට තවත් මිතුරකු සමඟ ඉකුත් ජනවාරි මස 25 වැනිදා මෙරටට පැමිණි මෙම ලොර් රියැදුරා මුණගැසී පියල් මරාදැමීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත. කොන්ත්‍රාත්තු මුදල රුපියල් ලක්ෂ දහයහමාරකි.



පසුව ඔවුන් පියල් පැහැරගෙන යෑම සඳහා රාගම රෙන්ට කාර් ආයතනයෙන් ලොරි රියැදුරා ලවා වැගන් ආර් රථයද මිලදී ගැනීමට අවශ්‍ය සහායද ලබාදී ඇත. පියල් ඝාතන සැලැස්ම මෙහෙය වූ කොරියා රටේ සිටි පුද්ගලයා පසුව ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා යළි කොරියාව බලා පිටත්ව ගොස් තිබිණි.


මේ කොර්යාවේ  ඉන්න පුද්ගලයාගේ බිරිය සමඟ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ අනියම් සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේක නතර කරගන්නම බැරි වෙලා. මේ පහර කෑමට ලක්වුණ පුද්ගලයා ඒ කාන්තාවගෙන් මුදල් ඉල්ලා කරදර කරලත් තියෙනවා. අන්තිමට කොරියාවේ ඉන්න පුද්ගලයා එයාගේ බිරියයි, දරුවනුයි අරගෙන ඕවිලිකන්දෙන් වෙනත් පළාතකට පදිංචියට යනවා. "පස්සේ බේරෙන්න බැරිම තැන තමයි ඔය ලොරි රියැදුරාට ඒ පුද්ගලයා මරන්න කියලා රුපියල් ලක්ෂ දහය හමාරක කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ. සිද්ධිය වෙන්න කලින් රුපියල් ලක්ෂය, දෙක වරින් වර දෙනවා. අන්තිමේදී අනිත් ඉතුරු සල්ලි දෙනවා. ඒත් පහරකෑමට ලක්වුණු පුද්ගලයා මැරෙන්නේ නැහැ. ඒත් තවමත් එයා අයි.සී.යූ. එකේ ඉන්නේ..."

විමර්ශන නිලධාරියා සඳහන් කළේය. "හරි ඒවා වැඩක් නැහැ. උඹත් එක්ක ගිය අනිත් දෙන්නා කවුද?


"සර් ඒ ගොල්ලෝ ඉන්නේ බියගම කලාපයේ"

සැකකාර ලොරි රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු සෙසු දෙදෙනා හඳුනාගත් නිලධාර්න් බියගම වෙළෙඳ කලාපයේ අත්මේස් නිෂ්පාදනය කරන කම්හලක සේවය කරමින් සිටියදී සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

"උඹලට කීයක් දුන්නද වැඩේ කළාට..." "සර්... අපිට දුන්නේ රුපියල් තිස්දාහයි." ඔවුන්ගේ ප්‍රකාශ මත හෙළිවන්නේ ලොරි රියැදුරා විසින් රුපියල් ලක්ෂ දහය හමාරේ මුදලින් මොවුන් දෙදෙනාට රුපියල් තිස්දහස බැගින් රුපියල් හැටදහසක් පමණ ලබා ඇති බවය.

"කෝ දැන් ඒ මනුස්සයට ගහපු පිහිය. විමර්ශන නිලධාහු ඔවුන්ගෙන් විමසූහ." "සර් පිහියයි අපේ ලේ ගැවුණු ඇඳුම් සේරමයි කාර් එකේ යන ගමන් කටුගස්තොට පාලමෙන් ගඟට විසිකළා." තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැවැසුවේ පියල් සහ සගයාව බිය කිරීම සඳහා මාතලේ රෝස වීදියේ වෙළෙඳසලකින් රුපියල් 200ක් ගෙවා සෙල්ලම් පිස්තෝලයක් මිලදී ගත් බවත් ඔවුනට පහරදීම සඳහා රුපියල් 600ක් ගෙවා පිහියක් මිලයට ගත් බවත්ය.


සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු රුපියල් ලක්ෂ දහය හමාරක මුදල් කොන්ත්‍රාත්තුවකට පුද්ගලයකු පහරදී මරා දමන්නට කොරියාවේ සිට කරන ලද සැලැස්මක සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි විය. විමර්ශන නිලධාර්න් පවසන්නේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා මේ වන විට කොරියාවේ රැඳී සිටින නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගන්නා බවය. එතෙක් ඔහු මෙරටට ඇතුළුවීම වළක්වාලමින් ගුවන්ගමන් තහනමක්ද ලබාගෙන තිබේ. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොන්ත්‍රාත්තුව සඳහා ලබාදුන් මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් නිලධාර්න් සොයාගෙන ඇත.
(කීර්ති මෙන්ඩිස්)