
කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග ජාලය අද දින සවස දැඩි අවහිරතාවයකට ලක්ව ඇත්තේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙනි. මෙම තත්ත්වය හමුවේ පොලීසිය විසින් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.
විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ රථවාහන තදබදය උග්‍ර අතට හැරී ඇති අතර, විශේෂයෙන්ම කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා දිවෙන ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගද දැඩි රථවාහන තදබදයකින් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් වෙනුවෙනි. එම ඉල්ලීම් අතර, රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව පුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීම සහ "උපාධි කඩ" ලෙස හඳුන්වනු ලබන පුද්ගලික විශ්වවිද්‍යාල වහාම වසා දැමීම ප්‍රධාන වේ. කොතලාවල පීඨය හරහා වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බවත් එය නවතන ලෙසත් ඉල්ලා සිටින සිසුවන් තමන්ගේ නේවාසිකාගාර ගැටලු විසදන ලෙසද ඉල්ලා ඇත.
විරෝධතා ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් පැවසුවේ වත්මන් රජය, රනිල් වික්‍රමසිංහ රජය අනුගමනය කළ ප්‍රතිපත්තිම අනුගමනය කරමින් වෛද්‍ය සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු කරමින් සිටින බවයි.
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරයේ දෛනික කටයුතු සඳහා පැමිණෙන පුරවැසියන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අතර, විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලීසිය උපදෙස් ලබා දී තිබේ. තවද, මෙම තත්ත්වය සමනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යොදවා ඇති බව කොළඹ පොලීසිය නිවේදනය කර සිටී.
