a-connection-between-the-murders-on-benedict-road-kotahena-and-galpottha-junction-kotahena

කොටහේන, ගල්පොත්ත හන්දිය අසල පිහිටි ජංගම දුරකථන අලෙවිසලක හිමිකරු ඝාතනයද සෙල්වි සහ පුකුඩුකන්නා පාර්ශ්වය අතර ඇතිව තිබෙන ඝාතන රැල්ලේ තවත් එක් ප්‍රතිඵලයක් බවට සැක කරන බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කියයි.පොලීසිය ඒ බව සැක කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. ඉකුත් 21 වැනිදා කොටහේන පොලිස් වසමේ ගල්පොත්ත හන්දියේ ජංගම දුරකථන අලෙවිසලකට ඇතුළු වූ තුවක්කුකරුවකු එහි සිටි පුද්ගලයකු ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, ටී. 56 වර්ගයේ ගිනි අවියකිනි.


වෙඩි ප්‍රහාරයෙන් ඉලක්කගත පුද්ගලයා වෙළෙඳසල තුළම මැරි වැටුණේය. විමර්ශනයේදී හෙළි වූයේ එලෙස වෙඩි කා මැරුම් කෑ පුද්ගලයා කොටහේන ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි සිවලිංගම් ශෂී කුමාර් නමැත්තකු බවය. ශර්ෂ කුමාර්ට වෙඩි තැබූ තුවක්කුකරුවෝ පැමිණි යතුරු පැදියේම නැඟී පලාගියහ. එම වෙඩික්කරුවන් රැගත් යතුරුපැදිය මාර්ගයේ ගමන් කරමින් තිබියදී ඒ ගැන සැක සිතූ මාර්ගයේ රාජකාර්යේ යෙදී සිටි කොටහේන පොලිසියේ නිලධාර්න් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. ඒ ශෂි කුමාර් වෙඩි තබා මරා දැමූ ටී.56 ගිනි අවියද සමඟිනි.




යතුරුපැදිය හා ටී. 56 ගිනි අවියද සමඟ මොවුන් කොටහේන පොලිසියට රැගෙන ගිය නිලධාර්න් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තවත් ආයුධ ඇති බවත් එම ආයුධ මට්ටක්කුලිය කාක දූපතේ සඟවා ඇති බවත් අනාවරණය කරගෙන තිබිණි. පසුව ඊට පසුදා (22දා) කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනාද රැගෙන සැඟවූ අවි ආයුධ සොයා ගැනීමේ අරමුණෙන් ඔවුන් මට්ටක්කුලිය කාක දූපතටරැගෙන ගොස් තිබේ.


එහිදී අවි ආයුධ සැඟවූ තැන පෙන්වන මුවාවෙන් එක් සැකකරුවකු කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා සතු ගිනි අවිය උදුරාගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව පතා පොලිස් නිලධාර්න් ඔවුනට වෙඩි තබා තිබේ. එහිදී සැකකරුවන් දෙදෙනාටම වෙඩි වැදී ඇති අතර පසුව ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විණි.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසිය පැවැසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෝදර නිපුන නමැති අයකුගේ කොන්ත්‍රාත්තුවක් මත ශෂි කුමාර්ට වෙඩි තැබූ බවය.


එහෙත් සිද්ධියසම්බන්ධයෙන් මෝදර පොලිසියට අමතරව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද දිගින් දිගටම කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වන්නේ ශෂිකුමාර් ඝාතනයද කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කලක් තිස්සේ මිනිස් ඝාතන සිදු කරන පුකුඩුකන්නා සහ සෙල්විල්ගේ පුතුන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු කළ තවත් වෙඩිතැබීමක් බවට සැක කරන බවය. ඒ බවට සැක කෙරෙන්නේ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමකදී බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා ඉකුත් 23 වැනිදා දහවල් මෝදර පොලිස් වසමේ මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.




සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවය. එම පුද්ගලයා එරට සිට මෙරට අපරාධ මෙහෙය වන බවත් ඔහුගේ උපදෙස් මත කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු කොළඹ කොටුව දුම්රියපොළේසිට කොස්ගස්හන්දියේ පිහිටි සිය  බිරියගේ නිවෙසට රැගෙන විත් පැමිණ ඇත්තේ මෙම සැකකරු බවයි. ඒ ත්‍රිරෝද රියකිනි. එමෙන්ම බිරියගේ නිවෙසට කැඳවා ගෙනැවිත් තුවක්කුකරුට අපරාධය සඳහා ගිනි අවිය සහ පතරොම් ලබාදී ඇත්තේත් මෙම සැකකරු බවද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. විමර්ශන නිලධාර්න් වැඩිදුරටත් පවසන්නේ වෙඩික්කරු ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණ ඇති බවට සැක කරන බවය. ඉන් අනතුරුව ඔහු සැකකරුගේ ග්‍රෑන්ඩ්පාස් නිවෙසේ රැඳී සිටියදී කිසියම් පුද්ගලයකු යතුරුපැදියකින් පැමිණ සැකකරුට ගිනි අවි ලබාදී ඇති බවත් කියයි.


එම අවිය වෙඩික්කරුට සපයා ඇත්තේ සැකකරු බවත් හෙළිව තිබේ. පසුව අපරාධය සිදු කිරීම සඳහා පැදිකරුද තවත් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් අනතුරුව තුවක්කුකරු සහ එම පුද්ගලයා එම යතුරුපැදියෙන්ම ගොස් වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශන නිලධාහු හෙළිකරගෙන ඇත.එමෙන්ම විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ ඉකුත් 10 වැනිදා කොටහේන පොලිස් වසමේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිර්ම සඳහා ටී. 56 ගිනි අවි ලබාදී ඇත්තේද අත්අඩංගුවට ගත් මෙම සැකකරුම බවය.




කොටහේන, බෙනඩික් මාවතේදී තුවක්කුකරුවකු ටී. 56 ගිනි අව්යකින් වෙඩි තබා කොළඹ ජම්පටා වීදියේ පදිංචි අයකු මෙලෙස ඝාතනය කර තිබිණි. කොටහේන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වන්නේ මියගිය පුද්ගලයා විදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙය වන පුකුඩුකන්නා නමැත්තාගේ සමීපතමයකු බවය. ඒ අනුව හෙළිවන්නේ එම ඝාතනය පුකුඩුකන්නාට එරෙහිව සෙල්විව්ගේ පුතුන්ගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවය.

කොටහේන බෙනඩික් මාවතේ එම ඝාතනය සහ කොටහේන, ගල්පොත්ත හන්දිය ඝාතනය සිදු කළ වෙඩික්කරුවන්ට ටී. 56 ගිනි අව්යය සපයා ඇත්තේ එකම පුද්ගලයා බවට තහවුරු වීම මත මෙම වෙඩි තැබීම් දෙකම පුකුඩු කන්නා සහ සෙල්විගේ පාර්ශ්ව දෙක අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවට පොලිසිය සැක කරයි.
(කීර්ති මෙන්ඩිස්)