
සේවය හැර යාමේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීම නිසා විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 12කට වැඩි මූල්‍ය හානියක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 59 දෙනෙකු නිසි දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට රුපියල් එක්කෝටි විසිදෙලක්ෂ තිස්දෙදහස් එකසිය හැටඑකක (රු. 12,232,161) මූල්‍ය හානියක් සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.
2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව සකස් කරන ලද විගණන වාර්තාවට අනුව, මෙම ආචාර්යවරුන් 2020 ජනවාරි 1 වන දින සිට 2023 දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ සේවයෙන් ඉවත්ව ගොස් ඇත. විශ්වවිද්‍යාල රෙගුලාසි අනුව, ආචාර්යවරුන් සේවයෙන් ඉවත්වීමට අවම වශයෙන් මාස තුනකට පෙර දැනුම්දීමක් සිදු කළ යුතු වුවද, මෙම සියලුම ආචාර්යවරුන් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සේවය හැර ගොස් ඇති බව විගණන වාර්තාවේ අනාවරණය වී තිබේ.
විගණන වාර්තාවට අනුව, සේවා ගිවිසුම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ ප්‍රකාරව, නිසි දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්වන ආචාර්යවරුන්ගෙන් මාස තුනක වැටුපට සමාන මුදලක් අය කර ගැනීමට විශ්වවිද්‍යාලයට අයිතියක් ඇත. කෙසේ වෙතත්, මෙම ආචාර්යවරුන් 59 දෙනාගෙන් එවැනි මුදලක් අය කර ගැනීමට විශ්වවිද්‍යාලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණකවරුන් පෙන්වා දී ඇත.
ජාතික විගණන කාර්යාලය මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්,
අදාළ වැටුප් හා දීමනා කඩිනමින් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාලයට නිර්දේශ කර ඇත. මෙම නිර්දේශයට ප්‍රතිචාර දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විගණන කාර්යාලයට දන්වා ඇත්තේ ඉදිරියේදී නිවැරදි සාක්ෂි ඇමුණුම් සහිත පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම සිද්ධිය පිළිබඳව අප විසින් සම්බන්ධ කර ගත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු පවසන්නේ, මෙවැනි තත්ත්වයක් ඇති වීම රටේ උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන දුර්වලතා පිළිබිඹු කරන බවයි. "විශ්වවිද්‍යාල ආයතනවල සේවක පාලනය සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙමගින් පැහැදිලි වෙනවා," ඔහු පැවසීය.
විශ්වවිද්‍යාලයට ඇති වූ මෙම මූල්‍ය හානිය පිළිබඳව ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර, විශ්වවිද්‍යාලය විසින් එම ආචාර්යවරුන්ගෙන් අදාළ මුදල් අය කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අධීක්ෂණය කිරීමට විගණන කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval