
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබන විශේෂ මෙහෙයුමක් යටතේ, ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පසුගිය පෙබරවාරි 19 වන දින අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල සිදු වූ මෙම සංවිධානාත්මක ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන පුළුල් විමර්ශන ක්‍රියාවලියේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
ඊයේ (22) දින අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර ගිනි අවිය සැපයූ පුද්ගලයෙකු මෙන්ම ඝාතනයෙන් පසු වැරදිකරුවන් පලා යාමට උදව් කළ දෙදෙනෙකුද වේ.
විමර්ශන නිලධාරීන්ගේ වාර්තා අනුව, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන තොරණෑකාරගේ දමිඳු ලක්ෂාන් (22) ගම්පහ, අස්ගිරිය, මල්වත්ත පාර පදිංචිකරුවෙකි. ඔහු ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය සිය භාරයේ තබාගෙන සිට, ඝාතනයට පෙර දින එය වෙඩික්කරු වෙත ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා වන පුල්ලේපෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත් (25) සහ පුල්ලේපෙරුම ආරච්චිගේ වමෝත් ගිම්හාන (19) යන දෙදෙනා
උඩුගම්පොල, අස්ගිරිවල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙම සැකකරුවන් දෙදෙනා ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරු සහ අනෙකුත් සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර ඔවුන්ට පලා යාමට සහාය වී ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළ ත්‍රීරෝද රථයද සිය භාරයට ගෙන ඇති අතර, එය සාක්ෂි ලෙස රඳවා තබා ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී. මෙම නව අත්අඩංගුවට ගැනීම් සමඟ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මුළු සැකකරුවන් සංඛ්‍යාව අටදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරමින් සිටින අතර, මෙම සංවිධානාත්මක ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී නම් ඔවුන්ද සොයා ගැනීමට කටයුතු කරමින් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval