six-wild-elephants-killed-after-being-hit-by-a-train

ගල්ඔය ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී සිදු වූ අවාසනාවන්ත දුම්රිය අනතුරකින් වන අලි හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් වන අලි දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෙම අනතුර සිදුව ඇත්තේ රාත්‍රී 11.30 ත් 12.00 ත් අතර කාලයේදී මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල් ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේදීය.




කඩුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හබරණ පොලිසිය වාර්තා කරයි. මිය ගිය වන අලින්ගෙන් සිව්දෙනෙකු ගැහැණු සතුන් වන අතර එක් අයෙකු පිරිමි සතෙකු බව කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිලධාරීන් තහවුරු කර ඇත. මියගිය වන අලින්ගේ වයස් සීමාවන් මාස 06, අවුරුදු 08, අවුරුදු 15 සහ අවුරුදු 20 ක් පමණ වන බව වනජීවී නිලධාරීන් පවසයි.

අනතුරෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති අතර, ඒ සම්බන්ධයෙන් හබරණ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට කටයුතු කර ඇති අතර,

මීනගයා දුම්රිය එන්ජිම පමණක් ඉවත්කර මඩකලපු දෙසට යැවීමට පියවර ගෙන තිබේ.

පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට සැලකිය යුතු අලාභ හානි සිදුව ඇති අතර, ගල්ඔය-මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියෙකු සඳහන් කළේය. මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර, මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයට ගල්ඔය පොලිස් මුරපලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පැමිණ ආරක්ෂක කටයුතු සිදු කරමින් සිටින අතර, තුවාල ලැබූ වන අලි දෙදෙනාට වන ජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබා දෙමින් සිටී. පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම නැවත පීලිගත කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසන අතර, දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.