ganemulla-sanjeewa-murder-update

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ (19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රකට සංවිධානාත්මක අපරාධකරු වන ගණේමුල්ලේ සංජීව ඝාතනය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු සැකකරු ලෙස හඳුනාගත් අතර, ඔහු සිද්ධියෙන් පසු අධිකරණ භූමියෙන් පලා ගොස් සිටියදී පුත්තලම ප්‍රදේශයේදී හසුවිය.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ලෙස සිටි සංජීව, බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ නඩු තුනක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ පැවති නඩු විභාගයේදී, දෙවන නඩුව කැඳවීමට සූදානම් වන අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ.

සිද්ධිය පිළිබඳ වාර්තා වන ආකාරයට, නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා විත්ති කූඩුව අසලට පැමිණ සංජීවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල කර ඇත. වෙඩි තැබීමෙන් පසු අධිකරණය තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර, සැකකරු "අන්න ගණේමුල්ල සංජීව පැන්නා, වෙඩි තියනවා වෙඩි තියනවා" යැයි කෑ ගසමින් අධිකරණයේ ප්‍රධාන දොරටුවෙන් පලා ගොස් ඇත.


එම අවස්තාවේ සිදුවූයේ කුමක්දැයි වටහාගත නොහැකිව අන්දුන් කුන්දුන්වූ පිරිසට මොහු ඝාතකයා යයි එක්වර තේරුම් ගන්නට බැරිව ගොස් තිබේ.

විමර්ශන වාර්තා අනුව, මෙම සිද්ධියට නීතිඥවරියක ලෙස පෙනී සිටි කාන්තාවක්ද සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ. ඇය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක් තුළ රිවෝල්වරය සඟවා අධිකරණයට ගෙන ගොස්, නීතිඥවරුන්ගේ කාමරයේ තබා, පසුව එය වෙඩික්කරුට ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම දෙන්නාම අධිකරණ භූමියට ඇතුළුවන්නේ පරීක්ෂාවකින් තොරවය. ඒ මේ දක්වා තිබෙන වරප්‍රසාදයක් අනුව යමිනි.
අධිකරනයේ පවතින මෙම අඩුපාඩුව නිසා ඔවුන්ට ගාතනය පහසුවෙන් සැලසුම් කළ හැකි විය.

බරපතල තුවාල ලැබූ සංජීව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නමුත් ජීවිතක්ෂයට පත්විය. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තහවුරු කළේ මරණය සිදුව ඇත්තේ පපුවට වැදුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් බවයි.

සිද්ධියෙන් පසු අධිකරණ භූමිය පුරා දැඩි ආරක්ෂක වැටලීමක් ක්‍රියාත්මක කෙරුණු අතර, පොලිස් සුනඛයන් සහ ඇඟිලි සලකුණු විශේෂඥයින් මගින් පරීක්ෂණ පවත්වා ඇත. සිද්ධිය හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ සියලු නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබිණි.



මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් දක්වා ඇත.

මෙම සිද්ධියෙන් පසු අධිකරණ භූමියට ඇතුළුවන සියලු පාර්ශ්වයන්, විශේෂයෙන් නීතිඥවරුන් සහ නීතිඥවරියන් දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට යටත් කෙරෙන බව වාර්තා වේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණයක් පවත්වා, කඩිනම් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියට නියෝග කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සවස් කාලයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.  වාර්තාවන ආකාරයට අධිකරණ භූමියට රිවොල්වරය පොතක සගවාගෙන රැගෙන විත් තිබූ කාන්තාව තවම අත්අඩංගුවට ගෙන නැත.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) නම් වූ මෙම සැකකරු ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයෙකු බව තහවුරු වී තිබේ.  පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට පත්වූ පසු කළ පරීක්සාවේදි මොහු අධිකරණයේදී යම් පරීක්ෂාවක් වුවොත් ඒ අය රැවටීම පිණිස කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක නමැත්තෙකු නමින් නීතීඥ සංගමය නිකුත් කරන හැඳුනුම්පතක්ද සකස්කරගෙන සිටි බව හෙලි විය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක් තුළ සඟවාගෙන ගිනි අවියක් අධිකරණය තුළට රැගෙන ගිය ඔහුගේ සහායිකාව පින්පුර දේවගේ ඉසාරා සෙව්වන්දි නම් වන අතර  ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බව පොලිසිය පවසයි. ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සිදුකර ඇති අතර ඇගේ ඡායාරූපයක්ද පොලිසිය නිකුත් කර ඇත.