body-of-a-young-man-found-in-the-bathroom-of-a-mawanella-hotel

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ නවාතැන්පොළක නාන කාමරය තුළ මියගිය තරුණ පියෙකුගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුචිර නදීර මහතා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මෙම තීන්දුව ඊයේ (03) දින ප්‍රකාශයට පත් කෙරිණි.


මියගිය පුද්ගලයා නුවරඑළිය, පූඩළුඔය, කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක් වූ මැණික්සිංහ බෝගැටේ ගෙදර සහන් තාරුක විජේරත්න නම් වූ එක් දරු පියෙකි. ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ වී සිටි අතර, අවුරුද්දක් හා මාස හතරක් වයසැති දරුවෙකුගේ පියෙකි.


පොලිස් වාර්තා අනුව, මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා ගුවන් හමුදාවේ සේවය කරන අතර, දැනට ඉන්දියාවේ පුහුණුවක නිරත වී සිටී. මියගිය පුද්ගලයාගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇය රෝහල්ගත කිරීම සඳහා ඔහු පසුගිය 22 වැනි දින ඇඹිලිපිටියේ සිට පූඩළුඔය නිවසට පැමිණ තිබේ.
සිද්ධියට අදාළ තොරතුරු අනුව, මියගිය පුද්ගලයා පසුගිය 31 වැනි දින සවස මාවනැල්ල පොලිස් වසමේ හිඟුල ප්‍රදේශයේ නවාතැන්පොළකට පැමිණ ඇති අතර, එහි නාන කාමරයේදී අනතුරට ලක්ව මිය ගොස් ඇත. නවාතැන්පොළේ සේවකයෙකු විසින් මෙම සිද්ධිය සොයා ගැනීමෙන් පසු නවාතැන්පොළේ හිමිකරු මාවනැල්ල පොලීසියට දැනුම් දී තිබේ.
මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් සෙව්වන්දි අත්තනායක මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර ඇත.

මියගිය පුද්ගලයා සන්තකයේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ මව රෝහල්ගත කිරීමේදී භාරදුන් රන් කරාබු ජෝඩුවක් තිබී ඇති බව පොලීසිය වාර්තා කරයි.
මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සමන් කුමාර සහ පොලිස් සැරයන් බණ්ඩාර (28039) යන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
පොලීසිය විසින් මියගිය පුද්ගලයා සන්තකයේ තිබූ දේපළ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳට දැනුම් දී ඇති අතර, ඒවා අධිකරණයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.