polkotuwa-gadda-collapses-as-soon-as-he-is-caught-assembling-vehicles-under-the-name-of-ministries

'පොල්කොටුවේ ගඩ්ඩා' යනුවෙන් ප්‍රසිද්ධ කලවානේ ප්‍රදේශයේ කෝටිපති වාහන ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ බවට සැක කෙරෙන සහ කොටස් එකලස් කර සකස් කළ බවට චෝදනා එල්ල වී ඇති වාහන පහක් වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් පසුගිය දා (2) සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයා ගැනීමට සමත් විය.
 
වාහන වංචා පිළිබඳ බුද්ධි තොරතුරු මත පදනම්ව සිදු කෙරුණු මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇති වාහන අතර මෝටර් රථ දෙකක්, ජීප් රථ දෙකක් සහ ඩිෆෙන්ඩර් රථයක් ඇතුළත් වන අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බව පොලිසිය පවසයි.



වැටලීමේදී සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස, වලාන පොලිස් නිලධාරීන් තම අනන්‍යතාවය හෙළි කිරීමත් සමඟ සැකකරු වන 'පොල්කොටුවේ ගඩ්ඩා' ලෙස හඳුන්වන ව්‍යාපාරිකයා බියට පත්ව සිහිසුන්ව ඇද වැටී ඇති අතර, ඔහු වහාම රත්නපුර රෝහල වෙත ඇතුළත් කර ඇත.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ මෙම වාහන අලෙවිසැල් හිමිකරු ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක යොදා කූට ලේඛන සකස් කර වාහන අලෙවි කරමින් අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වී ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බවයි.

විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වූ කරුණු අතර, අත්අඩංගුවට ගත් වාහන අතර ගර්භිත තත්ත්වයේ පවතින හා ධාවනය කළ නොහැකි ජපන් නිෂ්පාදිත කැල්ටස් වර්ගයේ මෝටර් රථයක් ද ඇති අතර,

එම රථයේ වැසි අංකය සහ චැසි කොටස කූට ලෙස ඉවත් කර ඇති බව සොයාගෙන තිබේ. එසේම, ජපන් සුසුකි වර්ගයේ රථයක චැසි බඳ කොටසට පෑස්සුම් කර බද්ධ කර ඇති බව ද තහවුරු වී ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ මෙම ව්‍යාපාරිකයා ඇතැම් වාහන "අධ්‍යාපන අමාත්‍යාංශය" සහ "මාර්ග සංවර්ධන අධිකාරිය" යන ආයතන නම් සඳහන් කරමින් බෝඩ් ප්‍රදර්ශනය කර ධාවනය කර ඇති බවට ද හෙළි වී තිබීමයි.

මෙම සාර්ථක වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. වැටලීමේ මෙහෙයුම් කටයුතු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදු වූ අතර, උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, මධුෂාන් ඇතුළු පොලිස් සැරයන්වරුන්, පොලිස් කොස්තාපල්වරුන් සහ රියදුරන් ඇතුළු විශාල පිරිසක් මෙම මෙහෙයුමට සහභාගී විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙවැනි වාහන වංචා වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පවසයි.