
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් වෙන්කර දීමට පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණය අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ ගෙන තිබූ කැබිනට් තීරණය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවයි. පෙර රජය විසින් හලාවත මූලික රෝහල සහ සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කර තිබිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ වත්මන් රජය මෙම අවස්ථාවේදී රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටලු, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සැලසුම් යන කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පෙබරවාරි 06 වන දින විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමෙන් අනතුරුවය.
විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ආරම්භ කළ විරෝධතා පා ගමන ලෝටස් වටරවුම හරහා ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ දැරූ අතර, පොලීසිය විසින් එයට බාධා එල්ල කරන ලදී. කෙසේ වෙතත්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලය වෙත ගොස් තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර, පසුව රාත්‍රියේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද ඔවුන්ට හැකියාව ලැබිණි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රවිදු සචින්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි. මෙම කාලසීමාව තුළ අදාළ කැබිනට් තීරණ නිල වශයෙන් අවලංගු කිරීමට රජය කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ඔවුන්ගේ විරෝධතාව ඵලදරා ඇති අතර රජය ඉතා ඉක්මණින් තීරණයක් ගෙන ඇත.
ඊළඟ කැබිනට් රැස්වීමේදී මෙම වෙනස්කම් අනුමත කරන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval