
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විදේශ සංවර්ධන ආයතනය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) අකර්මණ්‍ය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරණය තාවකාලික නියෝගයක් මගින් එරට ෆෙඩරල් අධිකරණය විසින් අත්හිටුවා ඇත.
සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන විට පරිපාලන නිවාඩු යැවීමට නියමිතව තිබූ සේවකයින් 2,200 දෙනෙකු සම්බන්ධයෙන් තහනම් නියෝගයක් අධිකරණය විසින් නිකුත් කර තිබේ. සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් විදේශයන්හි සේවය කරන USAID ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව 10,000ක් පමණ වේ.
ට්‍රම්ප් පරිපාලනය සහ බිලියනපති ව්‍යවසායක ඉලොන් මස්ක් විසින් සකස් කරන ලද සැලැස්ම යටතේ සේවකයින් 611 දෙනෙකු පමණක් රැකගැනීමට නියමිතව තිබිණි.
විදේශ වියදම් සම්බන්ධයෙන් දීර්ඝකාලීන විවේචකයෙකු වන ට්‍රම්ප්, USAID ආයතනය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරන ආයතනයක් ලෙස හඳුන්වමින් එය ඉලක්ක කර ගෙන තිබේ.
ෆෙඩරල් වියදම් සහ රජයේ කාර්යභාරය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය ඉලක්ක කර ඇති රාජ්‍ය ආයතන රැසකින් මෙය එකකි. රජයේ ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ ට්‍රම්ප්, අයවැය කප්පාදු කිරීම සඳහා ඉලොන් මස්ක්ගේ නායකත්වයෙන් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (Doge) නමින් උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇත.
වොෂිංටන් DC හි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු කාල් නිකොල්ස් විසින් සිකුරාදා නිකුත් කරන ලද නියෝගය පැමිණියේ ආයතනයේ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක් වන ඇමරිකානු විදේශ සේවා සංගමය සහ ඇමරිකානු රජයේ සේවක සම්මේලනය විසින් නඩුවක් ගොනු කිරීමෙන් පසුවය.
නඩුවේ තර්ක කර ඇත්තේ ජනාධිපතිවරයා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ෆෙඩරල් නීතිය උල්ලංඝනය කරමින් ආයතනය විසුරුවා හැරීමට උත්සාහ කරන බවයි. "USAID ආයතනය විසුරුවා හැරීමට ගත් කිසිදු පියවරක් කොන්ග්‍රස් සභාවේ අනුමැතිය යටතේ සිදු කර නොමැත," එහි සඳහන් වේ.
"ෆෙඩරල් නීතිය අනුව, ආයතනය නීත්‍යානුකූලව විසුරුවා හැරිය හැක්කේ කොන්ග්‍රස් සභාවට පමණි."
බ්‍රහස්පතින්දා දින, ට්‍රම්ප් පරිපාලනය USAID සේවකයින්ට දැනුම් දුන්නේ ආයතනය විසුරුවා හැර අත්‍යවශ්‍ය සේවකයින් 611 දෙනෙකු පමණක් රඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
අධිකරණයේදී අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන බ්‍රෙට් ෂුමේට් විනිසුරුට පැවසූ පරිදි සේවකයින් 2,200 දෙනෙකු වැටුප් සහිත නිවාඩු යැවීමට නියමිතව තිබිණි. ඔහු අධිකරණයට පැවසුවේ "USAID හි දූෂණ සහ වංචා සිදු වන බවට ට්‍රම්ප් තීරණය කර ඇති" බවයි.
වොෂිංටන් DC හි පිහිටි ආයතනයේ මූලස්ථානයේ නාම පුවරු ඉවත් කර කළු ටේප් පටි යොදා ආවරණය කරමින් සිටියදී සිකුරාදා අධිකරණ තීන්දුව ලැබිණි.
සමහරු ආවරණය කරන ලද ලාංඡන අසල "RIP USAID" සොහොන් ගල් රූපයක් සහිත සලකුණු හා මල් තබා තිබිණි.
මස්ක්ගේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ආයතනය ඉලක්ක කර ගැනීමත් සමඟ එහි වොෂිංටන් කාර්යාලය සතියක් පුරා වසා දමා තිබිණි.
USAID හි කප්පාදු කිරීම් හේතුවෙන් ලොව පුරා රටවල ක්‍රියාත්මක වූ වැඩසටහන් සිය ගණනක් අකර්මණ්‍ය වීමත් සමඟ ගෝලීය ආධාර පද්ධතිය කඩා වැටී ඇත.
මෙම අධිකරණ තහනම සේවකයින් සම්බන්ධව පමණක් වන අතර දින 90 කට වැඩසටහන් නැවැත්වීමේ ඇමරිකානු රජය ගත් තීරණයේ වෙනසක් සිදුව නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval