
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදු කරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ රහස් සාක්ෂිකරුවෙකු ඊයේ (20) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිය සාක්ෂි ලබා දුන්නේය.
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඉදිරියේ පැවති මෙම විශේෂ සාක්ෂි විභාගය පැයක් හා විනාඩි දහයක පමණ කාලයක් පුරා පැවැත්විණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මෙම රහස් සාක්ෂිකරු කැඳවනු ලැබූ අතර, ඔහුගේ සාක්ෂි ප්‍රකාශය පස්වරු 1.50 සිට 3.00 දක්වා කාලය තුළ සටහන් කර ගන්නා ලදී.
මෙම නඩුව පිටුපස ඇති ප්‍රධාන චෝදනාව වන්නේ එයාර්බස් A-330 ගුවන් යානා 6ක් සහ A-350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු වූ බවට කියැවෙන අක්‍රමිකතාවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලට අනුව, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සිංගප්පූරු ඩොලර් මිලියන දෙකක කොමිස් මුදලක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.
නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සිංගප්පූරුවේ 'බිස් සොලූෂන්ස්' නම් සමාගමකට 2013 දෙසැම්බර් 27 වන දින එයාර්බස් සමාගමේ මවු සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් බැර කර ඇත.
විමර්ශනවලින් අනාවරණය වූ වැදගත් කරුණක් නම්, එම මුදල් පසුව අවස්ථා හතරකදී කපිල චන්ද්‍රසේන මහතාගේ ඔස්ට්‍රේලියානු කොමන්වෙල්ත් බැංකු ගිණුමකට මාරු කර ඇති බවයි. සිංගප්පූරු බැංකු ගිණුම 2015 නොවැම්බර් 25 වන දින වසා දමා ඇති බවද වාර්තා වේ.
මේ වන විට, හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනාම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, දැනට ඇප මත මුදා හැර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 17 වන දින අධිකරණයට මෝසමක් ගොනු කරමින් දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් බවයි.
මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විභාග කටයුතු ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval