
මිරිහාන පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ නිල කාමරයට අනවසරයෙන් ඇතුළු වී, දැනට අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් තර්ජනාත්මක ලෙස හැසිරුණු නීතිඥවරයෙකු පිළිබඳව ගංගොඩවිල අධිකරණය වෙත ඊයේ (22) දින වාර්තා කර ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි.
ගංගොඩවිල අධිකරණයේ විභාග වෙමින් පවතින අයුතු ඇතුළුවීමක් සම්බන්ධ නඩුවක විත්ති පාර්ශ්වයේ කාන්තාවක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය සඳුදා විශේෂ නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය අනුව, එම කාන්තාව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබිණි.
නියෝගයට අනුක්‍රීයව, අදාළ කාන්තාව පෙරේදා (21) දින මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවට පැමිණ ඇත. මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උපදෙස් ලබා දී තිබිණි.
මෙම සිදුවීමෙන් අනතුරුව, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා සිය නිල කාමරයේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී, අදාළ නීතිඥවරයා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කාමරයට ඇතුළු වී ඇත.
මෙම අවස්ථාවේදී නුගේගොඩ දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ඒකනායක මහතා ද එම කාමරයේ රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.
නිල කාමරයට ඇතුළු වූ නීතිඥවරයා, දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් "අපිට ඕන විදිහට පරීක්ෂණ කෙරෙන්න ඕනේ" යැයි පවසමින් ආවේගශීලී ලෙස හැසිරී ඇත. ඔහුගේ මෙම හැසිරීම නිල කාමරයට පමණක් සීමා නොවී, පසුව චෝදනාගාරය ඉදිරිපිට දී ද දිගටම පැවති බව වාර්තා වේ.
මෙම සිදුවීම පොලිස් මූලස්ථානයේ සිටි විශාල පිරිසක් ඉදිරිපිට සිදුවූ අතර, එය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙන්ම අනෙකුත් නිලධාරීන්ගේ ද රාජකාරි කටයුතුවලට බාධාවක් වී ඇත. මෙම අවස්ථාවේදී තවත් නීතිඥවරයෙකු බව සැක කෙරෙන පුද්ගලයෙකු ආවේගශීලී නීතිඥවරයා පාලනය කිරීමට උත්සාහ දරා ඇති බව ද පොලිසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් තොරතුරු සටහන් පොතේ වාර්තා කර ඇති අතර,
සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම නීතිඥවරයා අදාළ නඩු කටයුත්තේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගංගොඩවිල අධිකරණය දැනුවත් කර ඇති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval