
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විදේශ සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමක නිරත වූ සැකකරුවෙකු ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචි සැකකරු ළඟින් ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍ර 21ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 130,670ක මුදලක්, පෙර ගනුදෙනු සටහන් කරන ලද සටහන් පොත් 130ක් සහ ජංගම දූරකථනයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙල දක්වා ධාවනය වන සංචාරක ප්‍රිය ඔඩිසි දුම්රියේ ඊ-ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ බව හෙළි වී තිබේ.
ඔහුට මෙම ටිකට්පත් ලබාදී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
මෙම ප්‍රවේශපත්‍ර ජාවාරම විදේශීය සංචාරකයින් ඉලක්ක කරගෙන සිදු කරන බව පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන තනුජ දිසානායක සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු හෙළි කර තිබුණි.
දුම්රිය ඊ-ප්‍රවේශපත්‍ර පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සහ දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව,
අදාළ නිලධාරියා තම ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ ඊ-ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයට නිකුත් කළ පසු තත්පර 42ක් වැනි කෙටි කාලයක් තුළ සියල්ල අවසන් වී යාම පිටුපස මෙම ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය පවතින බව හෙළි වී තිබේ. රුපියල් 2,000ක මුහුණත වටිනාකමක් සහිත ප්‍රවේශපත්‍රයක් විදේශිකයින්ට රුපියල් 16,000ක් දක්වා ඉහළ මිලකට අලෙවි කරන බව වාර්තා වේ.
මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන් පරිදි, කොළඹ කොටුව, මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන මෙම ප්‍රවේශපත්‍ර ජාවාරම නිසා විදේශ සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ රටේ කීර්ති නාමයට සෘජු බලපෑමක් එල්ල කරයි.
මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසූ පරිදි, අධික මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පුද්ගලයින් පැමිණිලි ඉදිරිපත් කළද, නීතිමය ක්‍රියාමාර්ග සඳහා සහය නොදැක්වීම ප්‍රධාන ගැටලුවක් වී තිබේ.
මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති අතර, සාර්ථක නීතිමය ක්‍රියාමාර්ග සඳහා පීඩාවට පත් පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval