
කොස්ලන්ද පුනාගල මාර්ගයේ පිහිටි නිවසක ඇතිවූ භයානක ගින්නකින් එහි තනිව ජීවත්වූ හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොස්ලන්ද පොලීසිය විසින් තහවුරු කරන ලදී.
අද (27) අලුයම සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේදී මියගිය පුද්ගලයා මීට දශක දෙකකට පමණ පෙර අහංගම ප්‍රදේශයේ සිට කොස්ලන්දට පැමිණ වෙළඳ කටයුතුවල නිරතව සිට ඇත. ඔහු මෙම නිවසේ වසර විස්සකට අධික කාලයක් තනි පුද්ගලයෙකු ලෙස වාසය කර ඇති බව ප්‍රදේශවාසීන්ගේ සාක්ෂි මත තහවුරු වී තිබේ.
අලුයම එකට ආසන්න වේලාවේදී කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත ලැබුණු හදිසි දැනුම්දීමකට අනුව, පොලිස් නිලධාරීන් සිද්ධිස්ථානයට පැමිණි අවස්ථාව වන විටත් නිවස දැඩි ලෙස ගිනිගනිමින් පැවති බව පොලිස් වාර්තා වලින් හෙළි වේ. පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරමින් අසල්වැසි නිවෙස්වලට ගින්න පැතිරීම වැළැක්වීමට සමත් වී ඇති අතර, ගින්න මර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව සිදු කර ඇත.
කෙසේ වෙතත්, ගින්න මර්දනය කරන විට වන විටත් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබූ බව පොලිස් නිලධාරීන් පවසයි. පසුව සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී නිවසේ සුන්බුන් අතරින් මියගිය පුද්ගලයාගේ මෘත දේහය සොයාගැනීමට පොලීසියට හැකි වී තිබේ.
මෙම ගින්න ඇති වීමට හේතු වූ කරුණු තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බැවින්, සිද්ධිය පිළිබඳව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇති අතර, ස්ථානීය පරීක්ෂණ කටයුතු සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව කොස්ලන්ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොස්ලන්ද පොලීසිය විසින් සිදු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval