
මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑමට සම්බන්ධ බල්ලෙකු එල්ලා මරා දැමීමට නියෝග කර ඇති බවට චෝදනා මතු වී ඇති අතර, ඊට සම්බන්ධ සිද්ධියකට අදාළව මාන්කුලම් ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාරිය දණ්ඩ නීති සංග්‍රහය සහ 1907 අංක 13 දරණ සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය ඉදිරියේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාප්ත වූ ඡායාරූප අනුව, පසුගිය ජනවාරි 25 වන සෙනසුරාදා දින බල්ලාගේ ගෙල ලණුවකින් ගසකට බැඳ එල්ලා මරා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
සත්ව සුභසාධන සන්ධානයේ (Animal Welfare Coalition - AWC) චෝදනා අනුව, මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑ බල්ලෙකු එල්ලා මරා දැමීමට ලබා දුන් තීන්දුවකි. මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජන කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් විසඳීමේ පියවරක් ලෙසය.
සත්ව සුභසාධන සන්ධානයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසා ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ රාජකරුණා මහතා වෙත ලිපියක් යොමු කර ඇති බවයි. එම ලිපියට අනුව, සිද්ධිය වාර්තා වී ඇත්තේ ජනවාරි 25 වන දින වන අතර, ඔඩ්ඩුසුඩාන් සමථ මණ්ඩලය විසින් ජන කණ්ඩායම් දෙක අතර පැන නැගුණු ගැටුම විසඳීමේ විසඳුමක් ලෙස බල්ලා එල්ලා මරා දැමීමට නියෝග කර ඇත.
මාන්කුලම පොලීසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශන කටයුතු වලින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
මෙවැනි සිදුවීම් සත්ව හිංසනයට අදාළ නීති උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ශිෂ්ට සම්පන්න සමාජයක සදාචාරාත්මක පැවැත්මට ද
බරපතල තර්ජනයක් බව සත්ව සුභසාධන සංවිධාන පෙන්වා දෙයි. විශේෂයෙන්ම සමථ මණ්ඩල වැනි නීතිමය ආයතන විසින් මෙවැනි අමානුෂික තීරණ ගැනීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, සත්ව හිංසනයට එරෙහිව තිබෙන නීති තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්වා දී ඇත. සැකකාර කාන්තාව ඉදිරියේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර, ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්രකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval