rice-shortage

මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වෙළෙන්දෝ පවසති.මාස දෙකක පමණ සිට මෙම හිඟය පැවැතුණ ද, සහල් හිඟය මේ වන විට දැඩි තත්වයකට පත්ව ඇති බවටත්, සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.




රට පුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසල් ජාලවල ද දැඩි සහල් හිඟයක් පවතින අතර, වෙළෙඳසල්වල මේ වන විට සහල් නොමැති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසල් එක බිල්පතකට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරන තත්වයකට පත්ව ඇත.

පිටකොටුව තොග වෙළෙඳපොළේ ද සහල් හිගය දැඩි වී ඇති බවත්, ඔවුන්ට ද මහා පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇති බවත්, පිටකොටුව තොග වෙළෙන්දෝ කියති.


රට පුරා ලංකා සතොස බොහෝ අලෙවිසල් සියයට 90ක පමණ සහල් නොමැති බව ද පාරිභෝගිකයෝ පවසති.සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 245ත් 250ත් අතර ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 245ත් 247ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245ත් 255ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260ත් 265ත් අතර ද, කිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 275ත් 282ත් අතර ද සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අලෙවි කරති.




සිල්ලර වෙළෙන්දන් පවසන්නේ, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240කට ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 242කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255කට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 270කට ද තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත්, එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවත්ය. කොළඹින් කිලෝමීටර 50 ක් පමණ දුර ප්‍රදේශයකින් සහල් කිලෝවක් කඩයට ගෙන ඒමට තවත් රුපියල් 5කට ආසන්න පිරිවැයක් දැරිය යුතු බවත්, ඒ හේතුවෙන් තවත් රුපියල් 3ක පමණ ලාභයක් එකතු කර සහල් විකිණීමේදී සියලුම සහල් වර්ග පාලන මිලට එහා ගිය මිලකට අලෙවි කරන බවත් ඔවුහු කීහ.




පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදු වේ යැයි යන බිය හේතුවෙන් බොහෝ සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බව සිල්ලර වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරති.ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයනය කිරීම සඳහා රජය පියවර නොගතහොත් දැඩි සහල් හිගයක් ඇති වන බව, සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවැසීය.

( යොහාන් භාසුර)