A-call-from-Lal-Kantha-to-Wimal-Weerawansa-Inside-the-story-of-politics

මෙය පැරැණි සිදුවීමක් වුවද අලුතෙන් එළියට ආව සිදුවීමකි.
‘ලොකු අයියා ජනාධිපතිවරණය දවසේ රෑ කොහේද හිටියේ?
මාධ්‍යවේදියෙක් ලොකු අයියා හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් විමසුවේය. පක්ෂයේ කේඩරයට අනුර කුමාර දිසානායක ‘අනුරයියා' වනවිට ටිල්වින් සිල්වා ලොකූ අයියා වේ.

මම හිටියේ පක්ෂ මූලස්ථනයේමයි. රෑ වෙනකොට කට්ටිය අඩුවුණා. අනුර සහෝදරයා හිටියෙත් පක්ෂ මූලස්ථානයේමයි. ඡන්ද ගණන් කිව්වේ මධ්‍යස්ථානවලට යන්න ඕනෑ නිසා පක්ෂයේ සංවිධායකවරු විසිරිලා ගියා. මමයි අනුර සහෝදරයයි එකට ඡන්දය බලමින් සිටියේ. ටිල්වින් සිල්වා උත්තර දුන්නේය. ‘ඡන්දෙ බලද්දී දැනුනේ මොනවගේ හැඟීමක් ද?

මාධ්‍යවේදියා යළිත් විමසුවේය. ටිල්වින් සිල්වා එයට දුන්නේ මෙබඳු උත්තරයකි.‘ජනාධිපතිවරණය ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිට කොහොමත් විශ්වාසයක් තිබුණා. රෑ වෙන්න කලින් තැපැල් ඡන්ද ප්‍රතිඵල ආවනේ. ඒකෙන් ඒ විශ්වාසය තවත් තහවුරු වුණා. ඒත් පාන්දර වෙනකොට තත්වය ටිකක් වෙනස් වුණානේ. ඡන්ද ප්‍රතිඵල කියන්න පරක්කු වුණා. ටයි ටයි යනවා වගෙත් පෙනුණනේ. එතකොට සැකයක් ආවා දෙවැනි මනාපයට යන්න වෙයිද කියලා. ඔය මොනවා වුණත් ටෙලිෆෝන් එකට නම් නිවනක් නෑ.

ඒ ඒ දිස්ත්‍රික්කවල සහෝදරවරු කතා කරනවා. ‘මොනවද වෙන්නේ කියලා අහනවා. ඒ ඉතින් හැම තැනම සම්බන්ධිකරණය කර ගනිමින් හරි ප්‍රතිඵලය එළියට ගන්න මහන්සි වුණා. කොහොම හරි මම අන්තිමට අනුර සහෝදරයාට කිව්වා ටිකක් නිදා ගන්න කියලා'.

තනතුරු ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයකු වන්නේ ජාතික ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිය. ජවිපෙ ඉපැරණිම නායකයකු වන නිහාල් ගලප්පත්ති කතානායක ධුරයට හෝ ධීවර අමාත්‍ය ධුරයට මාලිමාවෙන් යෝජනා වුවද ඒ අවස්ථාව තරුණයකුට දෙන්නැයි ගලප්පත්ති කියා තිබිණි. මෙවර තනතුරක් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකි. ඔහු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ය.

‘පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අපි කබීර් හෂීම් මැතිතුමා පත් කරමු’. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ සබේ මන්ත්‍රී කණ්ඩායමට හා සමගි ජන සන්ධානයේ නායකයන් එක්වූ රැස්වීමකදීය.

විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශයට කිසිවෙක් විරෝධය පළ නොකළහ. එහෙත් එක්වරම නැගී සිටියේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාය.

‘මම යෝජනා කරනවා ඒ තනතුර තරුණ මන්ත්‍රීවරයකුට දෙන්න කියලා. කබීර් හෂීම් කියා සිටියේය. ඒ සමගම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා තරගයක් ඇතිවිය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා තම තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. එහෙත් බහුතරයේ මතය වූයේ ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සුදුසු බවය. ගයන්තගේ අකමැත්තක් නොවූයෙන් ඒ තනතුරට ඔහු පත් විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ ප්‍රශ්නය එලෙස විසඳුණ ද සජබෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතර පිරවීමේ අර්බුදය තවමත් විසඳී නැත. සජබෙට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් ලැබුණ අතර පක්ෂයේ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර ඉන් එක් මන්ත්‍රී ධුරයකට තමන්වම නම්කර ගත්තේය.

සංවිධායකතුමා ඔබතුමා කියන දෙයක් පක්ෂ නායකයතුමා අහනවනේ. ඒ නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මට දෙන්න කියලා ඔබතුමා නායකතුමාට කියන්න. ඔබතුමා කිව්වොත් නායකතුමා ඒක අහයි. පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට කතා කරමින් සුජීව සේනසිංහ එසේ කියමින් යන්නේය. ඔහුගේ අරමුණ ආසන සංවිධායකවරුන් ලවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට බලපෑම් කර මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමය.


එහෙත් එය සිතන තරම් පහසු නැති බව පෙනේ.එරාන් වික්‍රමරත්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතා කරන්න එරාන් ඉන්නම ඕනෑ. එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු යැවිය යුතු යැයි සිතන පිරිසක් විපක්ෂ නායකවරයාට කියා තිබේ.මනෝ ගනේෂන් ඉන්නවා නම් ඒකත් ඉතාම හොඳයි. මන්ත්‍රීධුර දෙකක් සහිතව සිටින මන්ත්‍රී දිගම්බරන් බලපෑම් කරමින් සිටින්නේ එසේ ය.




කොළඹින් මනාප ලැයිස්තුවේ උඩින් එන එක ලේසි නෑ. මම ලිස්ට් එකේ උඩට ඉන්නේ. අනික මාලිමාවෙන් කොළඹට දැම්මා කොළඹ නගරාධිපති අපේක්ෂිකාව. එයා පරාදයි. ඒත් මම උඩින් ඉන්න නිසා එක මන්ත්‍රී ධුරයක් මට අවශ්‍යයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරන්නේ එසේ කියමිනි.

ප්‍රොපෙසර් ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඉන්නවා. ඒ අය ගැනත් සිතන්න එපැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එසේ කියා සිටියේ තමන් පත්ව ඇති අසීරුතාව පැහැදිලි කරමිනි.

ඒගොල්ලන්ගෙන් ආපු හැම කෙනෙක්ම ලිස්ට් එකේ පල්ලෙහා ඉන්නේ. ඒගොල්ලන්ට කිසිම ජන මතයක් නෑ. සජබෙ මන්ත්‍රීවරයෙක් එසේ කියා සිටියේ ඩලස් පිලෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව ඉදිරිපත් කරමිනි.

මේ දිනවල ඇඳුමක් පිළිබඳව විශේෂ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ කවදත් පුවත් මවන්නකු වන කේ.ඩී. ලාල්කාන්තගේ ඇඳුම සම්බන්ධයෙනි. ලාල්ගෙ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ බාර ගැනීමට පැමිණියේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙනි. එහෙත් ඇමැති ලාල් කාන්ත එයට සහභාගි වූයේ ටීෂර්ටයකින් සැරසී ගෙනය.


‘ඒ ටීෂර්ට් එකක් නොවෙයි මනුස්සයෝ. ටීෂර්ට් රෙද්දට සමාන රෙද්දකින් මහපු අත්කොට ෂර්ට් එකක්. මිතුරන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම්වලට අවසානයේදී ඇමැති ලාල් උත්තර දුන්නේ එසේය.ඇමැති ලාල් කාන්ත එසේ සරලව හිතුවත් වැඩේ බරපතළ ය. හිටපු මන්ත්‍රී චම්පික රණවක ඇමැති ලාල් කාන්තට දුරකථන ඇමතුමක් ගත්තේය.


‘මචෝ ඔය ඇඳුම නම් උඹට ගැලපෙන්නේ නෑ'. චම්පික කීවේය. ‘මේක හරියන්නේ නැත්නම් උඹ ඔය අඳින අඩි 6ක් විතර උස කමිසයයි සුදු සරමයි මට එවපන්". ඇමති ලාල් කාන්ත කීවේ සිනහ සෙමිනි.


චම්පික රණවක ද අතහැරියේ නැත.

‛එහෙම නොවෙයි. උඹේ මැෂිමන්ට් එක මට එවපන්. මම ඇඳුම් කිහිපයක් මහලා එවන්නම්'. චම්පික කීවේ ද සිනාසෙමිනි.

ඇමති ලාල් කාන්තගේ ඇඳුම් ප්‍රශ්නය එතැනින් නතර වූයේ නැත. පසුගිය දිනෙක හිතවත් හාමුදුරුනමක් හමුවීමට ඇමති ලාල් කාන්ත ගියේය.


‘ඇමැතිතුමා ඔබතුමාගේ සරල ඇඳුමට මම හරි කැමතියි. සමහරු ඇඳුම්වලින් ප්‍රභූත්වය රැකගන්න හදනවා. තවත් සමහර අය තමන් ඉඳගන්න පුටුවෙනුත් ප්‍රභූත්වය රැකගන්න හදනවා. ඒ හැමදේම කණපිට පෙරළුණ ප්‍රභූත්වය රැකගන්න හදන ලාල්කාන්තට මම කැමතියි'.


‘ඒකනම් ඇත්ත තමයි ඇමැතිතුමා. දැන් විමල් වීරවංශ අරගෙන බලන්න එයා ඇඳුමෙන් තමයි ප්‍රභූත්වය රැක ගන්න හදන්නේ'. එතැන සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කළහ.

ඇමැති ලාල්කාන්ත ඒ මොහොතේම විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ගත්තේය.

හලෝ කියා උත්තර දුන් සැනින් විමල් කියා සිටියේ ‘ලාලෝ උඹේ ඇඳුමනම් හරියන්නෑ' යනුවෙනි.

‘විමලෝ උඹ විමල් වීරවංශ. මම ලාල් කාන්ත. උඹ උඹේ විදියට ඉඳලා දැන් කෙළවගෙන තියෙන්නේ. මම හැමදාම ඉන්නේ මගේ විදියට. උඹ ඒක මතක තියාගනින් ලාල් කාන්ත එසේ පිළිතුරු දන්නේ කොක්හඬලා සිනාසෙමිනි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ ව්‍යාපාරයේ දක්ෂතම කථිකයා ය. ඔහු සිය කතාව අවසන් කරන්නේ උද්වේගකර විලාශයෙනි. කවි පදයක් උපුටා දැක්වීම එහිදී බොහෝ විට සිදුවෙයි.


කුසට සාගිනි හදට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලූ අඳුර කාලය ගිහිල්ලා.

නොසිට මැරි මැරි සතුරු පායට වකුටුවී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා.ටිල්වින් කතාව හමාර කරන්නේ බොහෝ විට එම කවියෙනි. එ නිසාම මැතිවරණ සමයේ එම කවිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. එසේ කුසට සාගිනි හදට සෝ ගිනි කවිය කී ටිල්වින් සිල්වා ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ඇබා සංගීත ප්‍රසංගයට සහභාගිවීම සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ අවධානයට යොමු වූවක් විය. ටිල්වින් එහි ගොස් සිටියේ අගමැතිනි හරිනි අමරසූරිය, ඇමැති විජිත හේරත් සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ද සමගිනි.

අපට හොඳ රසඥතාවක් තියෙන අය. අපේ හතුරන්ට අපට කියන්න දෙයක් නැති නිසා කියන කතා ඔය. ටිල්වින් සිල්වා කියා තිබිණි.

මම පොඩි කාලයේ ඉඳලම ඇබා රසිකයෙක්. මගේ වාහනයේ කොයිවෙලාවෙත් ඇබා පීස්එකක්තියෙනවා විජිත හේර කීවේය. කෙසේ වෙතත් මීට පසු මෙබඳු සාද උත්සව වලට සහභගිවීමට කලින් ඒ සම්බන්ධයෙන් පක්ෂය දැනුවත් කර අවසර ගත යුතු බවට වාරණයක් පනවා තිබේ. එමෙන්ම මාධ්‍යයට වොයිස් කට් නොදෙන ලෙසද දන්වා තිබේ.

“අපට මාධ්‍යයට කථා කරන්න එපා කියලා තියෙන්නේ” මාලිමාවේ එක් කටකාර මන්ත්‍රීවරියක් මාධ්‍යවේදිනියකට එසේ කියා තිබුණේ හැඟුම්බරවය.

පන්දමා