
ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කූඨ ලේඛන ඉදිරිපත් කර පත්වීම් ලබා ගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය අවසන් කරන ලද බව, උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවැසීය.
පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බඳවාගත් උපාධිධාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය මෙසේ අවසන් කර ඇත.මෙසේ සේවය අවසන් කරන ලද ගුරුවරුන් බොහෝ දෙනකු වසර අටත් වසර විසිපහත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කළ අය බව ද අනාවරණය වී ඇත. ඔවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදීඉදිරිපත්කරතිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරු වූ බව ද, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවැසීය.
මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛන පරික්ෂා කිරීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත් කර තිබිණි. සමහර උපාධිධාරින් ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් පවා අධ්‍යාපනය හැදෑරූ බවට ව්‍යාජ උපාධි සහතික ද ඉදිරිපත් කර තිබූ බවත් කමිටු වාර්තාවේ සඳහන්ය.මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතිකවල නිරවද්‍යතාව සහතික කරගැනීම සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුවට සහ අදාළ විශ්වවිද්‍යාලවලට එම සහතික යැවීමෙන් අනතුරුව ඒවා ව්‍යාජ සහතික බවට අනාවරණය වී තිබුණි.
සේවය අවසන් කළ ගුරුවරුන්ගෙන් වැඩි දෙනකු සේවය කර ඇත්තේ කැබිතිගොල්ලෑව හා දිඹුලාගල අධ්‍යාපන කලාපවලය.අවශ්‍ය වන්නේ නම්, සේවය අවසන් කරනු ලැබූ ගුරුවරුන්ට පළාත් ආණ්ඩුකාරවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකි බව ද, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා මෙහිදී පැවැසීය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.
“මෙම ගුරුවරුන් ස්ථීර කිරීමට පෙර පරිවාස කාලයේදී ඔවුන් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සහතිකවල නිරවද්‍යතාව පරික්ෂා කිරීමට කටයුතු කරන්න තිබුණා. බලධාරින් ඒ සඳහා කටයුතු කරලා නැහැ. එසේම ඔවුන් තනතුරේ ස්ථිර කරලා වැටුප් වශයෙන් විශාල මුදලක් ගෙවලා තිබෙනවා. ඊට අමතරව මෙම ගුරුවරුන් පුහුණු කරන්නත් විශාල මුදලක් වැය කරලා තිබෙනවා. වසර ගණනාවක්ම ඔවුන්ගේ සේවය අරගෙන තිබෙනවා. මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතිකවල නිරවද්‍යතාව තහවුරු නොකර ඔවුන් සේවයේ ස්ථිර කිරිම අධ්‍යාපන බලධාරීන් සිදු කළ විශාල වරදක්.”
(දයාරත්න ඇබෝගම)
Comments
Post a Comment
Your comment will be visible after approval