dummalasuriya-incident

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී කපා කොටා ඝාතනයට ලක්වූ තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.දුම්මලසූරිය ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා ඝාතනය කර දමා සිටි 38 හැවිරිදි තරුණයකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව,  කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එසේ ඝාතනය කර තිබුණේ පිරිමි නමකින් පෙනී සිට තිබූ කාන්තාවක බවට අනාවරණය වී තිබිණ. දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු, අත්හැර දමා ඇති සුනඛයන් රැක බලාගනිමින් සිටි අයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණ.




ඝාතනය වාර්තා වී එම ස්ථානයට යන විටත් බල්ලන් 60කට වැඩි ප්‍රමාණයක් එම මියගිය අයගේ රැකවරණය ලබමින් සිට ඇතැයි පොලිසිය කියයි.අසල්වැසියකුගේ දැනුම්දීමකට අනුව දේහය සොයා ගැනීමට එහිදී පොලිසියට හැකිව තිබිණ.මරා දැමීමට හේතුවක් හෝ මේ වන විටත් අනාවරණය වී නොමැති බව ද පොලිසිය කියයි.ස්ථානයීය පරීක්‍ෂාව කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා විසින් සිදු කරනු ලැබ තිබූ අතර, එහිදී පූර්ණ පශ්චාත් පරීක්‍ෂාවක් පවත්වන්නැයි නියම කර තිබිණ.


මියගිය අයගේ මඬ කැඳවා ලබා ගත් කටඋත්තරයේදී, මියගොස් ඇත්තේ තමන්ගේ චූටි දුව යැයි පවසා තිබෙන අතර, පොලිසිය යළි යළි ප්‍රශ්න කරද්දීත්

මව පුන පුනා කියා ඇත්තේ මියගොස් ඇත්තේ තමාගේ බාල දියණිය බවය, පශ්චාත් පරීක්‍ෂණයේදී ද ඒ බව තහවුරුව ඇතැයි පොලිසිය පවසයි.මරණයට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව කියන පොලිසිය, මියගිය අයගේ හැඳුනුම්පත පවා පිරිමි නමකින් නීත්‍යනුකූලව සකසා තිබූ බව ද පැවැසීය.


ඝාතනය කර දැමීමට හේතුව සංක්‍රාන්ති ලිංගික කාරණාවක් ද, නැතහොත් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව, ලැබීමට නියමිත පශ්චාත් මරණ පරීක්‍ෂණ තීන්දුව ද සැලකිල්ලට ගෙන කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් අනුව, දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.එස්. අධිකාරි මහතා ප්‍රධාන දුම්මලසූරිය පොලිසියේ කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ පවත්වයි.