ajith-udugama-speaks

රජය සහ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අපහසුතාවට පත්කිරීම පිටුපස බියර් නිෂ්පාදනය කරන සමාගමක, එයින් යැපෙන අමාත්‍යාංශ නිලධාරින් සහ පැරැණි සුරාබදු නිලධාරින් පිරිසක් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත.



නීති විරෝධී මත්පැන් සඳහා විකල්පයක් ලෙස රුපියල් දෙදහස නොඉක්මවන මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වා දිය යුතු බවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිය සංගමය සමග පැවැති සාකච්ඡාවකදී යෝජනා කළ බව සංගමයේ සභාපති අජිත් උඩුගම පෙන්වා දෙයි. එය දැනටමත් ක්‍රියාත්මක ක්‍රමවේදයක් වන අතර, එය නව සංකල්පයක් ලෙස හුවාදක්වමින් රජය හා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අපහසුතාවට පත්කිරීමට පිරිසක් කටයුතු කරන බව එම ලිපියෙහි සඳහන්ව ඇත. මෙය පිටුපස බියර් නිෂ්පාදනය කරන සමාගමක්, එයින් යැපෙන අමාත්‍යාංශ නිලධාරින් සහ පැරැණි සුරාබදු නිලධාරින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.



නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව කතා කරන ඇතැම් පිරිස් පෙර රජය සමයේ පූජනීය ස්ථාන සහ පාසල්වලට ඇති දුර ප්‍රමාණ ලිහිල් කිරීමේදී, මහජන විරෝධතා සහ නීතියට පටහැනිව නිසි ක්‍රමවේදයකින් තොරව මත්පැන්හල් ලබාදීමේදී, මත්පැන් අලෙවිය ප්‍රවර්ධනයට නීති සකස් කිරීමේදී සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමට කටයුතු කිරීමේදී නිහඬව සිටීම කනගාටුවට කරුණක් බවද ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.



නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි භාරගෙන සුළු කාලයක් බැවින් ඔහු නව රජයේ අවශ්‍යතා ඉටු කරදීමට කටයුතු කරන බවට පෙනී යන බැවින් ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම සුදුසු බව සිය සංගමයේ හැඟීම බව ද අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.
( අනීෂා මානගේ)