
දෙදහස් හතරේ සිට දෙදහස් දහය කාලයේදී ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් අය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.
මන්ත්‍රිවරයා මෙසේ පැවසූයේ පෙරේදා (22 වැනිදා) හෙට්ටිපොළදී පැවැති ජන හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.
“මට 2019 දි ඇති වුණ හෘදයාබාධය නිසා ජනාධිපතිතුමා මාව බලන්න ආව වෙලාවේ මම ඉල්ලීමක් කළා. ලිඛිතව ලියුමක් ලියල නෙවෙයි. ජනාධිපතිවරයා එතැන ඉන්න නිලධාරින්ට කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරල කියලා තිබුණා මේ බිල් ටික ගෙවන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට මම කොළයක්වත් අත්සන් කරලා තිබුණේ නැහැ. මම දවස් හතරක් හොස්පිට්ල් හිටියේ. ඒ ගත්ත ලක්ෂ පහ තමයි දැන් ප්‍රශ්නෙවෙලා තියෙන්නේ. මම පිළිගන්නවා ලක්ෂ දෙසීය තුන්සීය ගත්ත එක ඇත්තටම වැරැදියි.
හැබැයි මේ අරන් තියෙන්නේ දෙදහස් දහයේ ඉඳන් ඉස්සරහට. දෙදහස් හතරේ ඉඳලා දෙදහස් දහය වෙනකල් ඔය කියන මහත්තුරුත් සල්ලි අරගෙන තියෙනවා.
මම ලබන සතියේ පාර්ලිමේන්තුවේදී කියල දෙන්නම් කවුරු කවුරුද අරගත්තේ කියලා. ඔය අද කියන යාළු මිත්‍රයෝ ඔක්කොම අරන් තියෙනවා. 2004දී ඒ අය තිස් නව දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ තිස් නවදෙනාගෙ කට්ටිය ගත්ත ඒවා කියන්නෙ නෑ දැන්. 2004 ඉඳන් සමහර අය හෘදයාබාධවලට සල්ලි අරන් තියෙනවා. සමහරු පිළිකාවලට සල්ලි අරන් තියෙනවා.
අපි මඩ ගහන්නේ නැහැ. හැබැයි මඩ ගහන්න පටන් ගත්තොත් එයාල දැනගන්න ඕනෑ අපි හොඳට පිඟන් හෝදල තමයි පිඟානක් දෙකක් බිඳිල ඇත්තෙ කියලා. එයාල මෙච්චර කාලයක් පිඟන් හේදුවෙ නෑ. දැන් ඒ අය පිඟන් හෝදනවා. තව අවුරුදු පහක් එයාල පිඟන් හෝදන්න එපැයි. අලුතෙන්නේ හෝදන්න පටන් අරන් තියෙන්නේ.
මෙච්චර කල් කරේ පිඟන් හෝදපු මිනිහට බැණ බැණ හිටියා. දැන් පළවෙනි වතාවට පිඟන් හෝදනවා. එතකොට පිඟානක් දෙකක් බිඳෙනවා තමයි. මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ. එයාල අතිනුත් වැරදි වේගෙන එනව දැන්. වැරදි වෙච්ච ඒවා තව තියෙනවා. අපි එළිපිට කියන්නම්. තමන් සුද්දවන්තයෝ අනික් ඔක්කොම හොරු කියලා හිතන්න හොඳ නෑ. ඒ අය කරන්නෙත් රාජ්‍ය බලය භුක්ති විඳිමින් අනුභව කරමින් පරිහරණය කරමින් දැන් ඉන්නවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval