medawachchiya-incident

සිය වගාවේ අවශ්‍යතාවකට ලී කෝටු කපා ගැනීම සඳහා හීන්න කන්ද රක්ෂිතයට ගිය මැදවච්චිය අගුනොච්චිය, ලේන දිවුල්වල ප්‍රදේශයේ ගොවියකු බඳින තුවක්කුවක් පත්තු වී මියගොස් ඇති බවට මැදවච්චිය පොලිසිය සැක පල කරයි.



මෙලෙස මියගොස් ඇත්තේ ලේනදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි තිලකරත්නගේ ගුණතිලක නමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.

රක්ෂිතයට ගිය පුද්ගලයා යළිත් නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනාන්තරය තුළ සිදු කළ සෝදිසියකදී ඊයේ (23 වැනිදා) පෙරවරුවේ රක්ෂිතයේ ලඳු කැලෑවක තිබියදී එම පුද්ගලයාගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.


පසුව ප්‍රදේශවාසීන් විසින් මැදවච්චිය පොලිසියට සිදු කළ දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරිහු එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳ විමර්ශන සිදු කළහ.

එහිදී මියගිය පුද්ගලයාගේ හිසට වෙඩිල්ල පත්තුවී තිබෙන ආකාරයක් සහ ඔහුගේ සිරුර ආසන්නයේ සතුන් දඩයම් කර ගැනීම සඳහා අටවන ලද බඳින තුවක්කුවක බටයක් සහ එහි කොටස් කිහිපයක් තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
( සිඩ්නි රුවන් උබේපාල - කහටගස්දිගිලිය)