මවුපියෝ සිය දරුවන් වෙනුවෙන් අපමණ දුක් විඳිති. විටක ඔවුන් ඒ දුක් විඳින්නේ දරුවන් වෙනුවෙන් උපදින්නා වූ ආදරය සෙනෙහස ද කැටි කරමිනි. ඒ දුක් මවුපියන් දරා ගන්නේ සතුටිනි. නමුත් ජීවිත කාලයම අගාධයකට ඇද දමමින් දරුවන් වෙනුවෙන් වේදනා විඳින්නට හැදූ වැඩූ මවුපියන්ට සිදුවුවහොත්….. ඇත්තෙන්ම එවැනි වේදනාවක් වචනයෙන් විග්‍රහ කළ නොහැකි ය. තමන්ට පෙර තමන්ගේ කුසින් වැඩූ දරුවකු අකාලයේ අහිමි වීම, ලේ කිරි කර පෙවූ තමන්ගේම දරුවන් දෙදෙකු එක මොහොතකදී අකාලයේ තම දෑස් ඉදිරියේ සමුගන්නට සිදුවීම මවකට පියෙකුට කෙසේ දරාගත හැකි වේද? කරුමයකට පලදෙන එවන් වේදනාවක් මිහිපිට උපන් කිසිවකුටවත් පලදෙන්නට කිසිවකුත් ප්‍රාර්ථනා කරන්නේ නැත.
කුරුණෑගල නගරයේ පදිංචිව සිටි නිර්මාල් ධනංජය අබේරත්න (27) සහ ඔහුගේ දෙවැනි සොයුරු ඉෂාන් පියුමාල් අබේරත්න (25) කොබෙයිගනේ ප්‍රදේශයේ ව්‍යාපාර රැසක් හිමි අබේරත්න පවුලේ දරු තිදෙනෙකුගෙන් වැඩිමහල් දරු දෙදෙනාය. නිර්මාල් ධනංජය පියාගේ ව්‍යාපාර කරගෙන ගිය අතර ඉෂාන් පියුමාල් ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියේය . ඔවුන් දෙදෙනා මෙන්ම දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන බාල සොහොයුරු ද කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුන්ය.
නිර්මාල් ධනංජය අබේරත්න 2016 කුරුණෑගල මලියදේව විදුහල් ආදි සිසු කණ්ඩායම නියෝජනය කරන අතර ඉෂාන් පියුමාල් අබේරත්න 2018 කුරුණෑගල මලියදේව විදුහල් ආදි සිසු කණ්ඩායම නියෝජනය කළහ. කුරුණෑගල මලියදේව විදුහල් ආදි සිසුන්ට නිර්මාල්ගේත් පියුමාල්ගේත් අකල් වියෝව තවමත් දරා ගැනීමට අපහසු වී ඇත. එදා සිට අද දක්වා එකට පාසලේ අධ්‍යාපනය ලැබුවා පමණක් නොව මියයන මොහොත දක්වාම මේ දෙසොහොයුරන් තම පාසල වෙනුවෙන් දැක්වූයේ අසීමිත කැපවීමකි. කොතරම් මිල මුදලින් ආඪ්‍ය වුව ද නැති බැරි අයට උදවු කරන්නට තරම් මේ තරුණ හිත් නිරහංකාර වූ බව සිය හිත මිතුරු සොහොයුරන් පවසන්නේ කඳුළින් බරවය. මේ නිර්මාල්ගේ පියුමාල්ගේ වියෝවින් තැවෙන 2016 කුරුණෑගල මලියදේව විදුහල් ආදි සිසුන්ගේ වේදනාවය.
“ අපි මේ සිදුවීම දැනගත්තේ වැට්ස්ඇප් ගෘප් එකෙන්. තවමත් අපිට මේ දේ හීනයක් වගේ. කොහොමද මේ වගේ යාළුවකුට එයාගේ මල්ලිට මේ වගේ දෙයක් වුණේ කියලා අපිට හිතා ගන්න බැහැ. නිර්මාල් හා පියුමාල් කියන්නේ අපිත් එක්කම සහෝදරයන් වගේ හිටිය දෙන්නෙක්. නිර්මාල් පියුමාල් කියන්නේ කෝටිපතියෙක්ගේ දරුවෝ. ඒත් කවදාවත් මේ දෙන්නා කෝටිපති දරුවෝ කියලා හරි සල්ලි තියෙනවා කියලා හරි රඟපු මිනිස්සු නෙමෙයි. මේ සිදුවීම වෙනකම් අපේ කණ්ඩායමේ කවුරුත් දන්නේ නැහැ, මේ අයට තියෙන වත්කම් මොනවද? කොයි වගේ අයද කියලා. ඒ, ඒ දෙන්නා තුළ තිබුණු සරලකම නිසා. ඒ තරමට නිහතමානීව ජීවත් වුණු හොඳටම හිටපු යාළුවෝ. කුරුණෑගල මේ අයට විශාල වශයෙන් ව්‍යාපාර තිබුණා. නමුත් කොතරම් ව්‍යාපාර තිබුණත් ඒ සියල්ල මේ අය හම්බ කළේ දුක් මහන්සියෙන්. අංකල් පවා මහන්සියෙන් ගොඩනඟපු දේ තමයි නිර්මාල් මේ වෙනකම් ඉදිරියට ගෙන ගියේ.
මේ දෙන්නම උසස් පෙළ හොඳින් කළා. එහෙම් කරලා පියුමාල් ජපන් ගියා. එයා ජපන් ගියේ සල්ලි පෙන්නලා නෙමෙයි. මෙහේ ජපන් පාඨමාලාව කරලා ජපානයට යන නියමිත යන ආකාරයෙන් තමයි ගියේ. නිර්මාල් NIBM එකේ කළමනාකරණ උපාධිය කරලා තමයි තාත්තාගේ ව්‍යාපාරවලට එකතු වුණේ. සාමාන්‍ය ආකාරයට ජීවත් වුණා මිසක් බල පුළුවන්කාරකම් පෙන්නන්න මේ අය ගියේ නැහැ. අම්මා චන්ද්‍රා කුමාරි ඇන්ටිත් එහෙමයි. පින් අතේ වැඩ කරගෙන ගියා. බිත්තර වෙෙළඳාම කිව්වට ප්‍රධාන ව්‍යාපාරය වුණේ ඒක නෙමෙයි. එයාලට පොල් අක්කර 150ක් පමණ තියෙනවා. කුරුණෑගල ගොඩනැගිලි තියෙනවා. බිත්තර වෙෙළඳාම පැත්තකින් තිබ්බත් ජීවත් වෙන්න ඕන තරම් දේ තිබුණා.
එදා නිර්මාල්ලා අපිත් එක්ක ඉගෙන ගත්තු කාලය අදටත් මතකයි. මේ ගොල්ලෝ ගුරුවරුන්ගේ හිත රිද්දන්න ගියේ නැහැ. හරිම සරලයි. පස්සේ පාසලින් ඉවත් වුණාට පස්සේ අපි මලියදේව ආදි සිසුන් විදියට කටයුතු කළා. 2016 කණ්ඩායමේ හැම වැඩකටම නිර්මාල් පියුමාල් බැහැයි නොකියා ඇවිත් සහයෝගය දෙනවා. ලබන ජනවාරියේ අපි සුහද හමුව තියන්න සූදානම් වෙලා අපි මුලින්ම කතා කළේ නිර්මාල්ට. එයා අපිට ලොකු හයියක් වුණා ‘බය වෙන්න එපා මචං. මම ලොකු උදව්වක් කරන්නම්‘ එයා ගත් කටටම කිව්වා. මුදලින් වුණත් යාළුවන්ට උදවු කරනවා. එයාට ඕන තනියම ගොඩ යන්න නෙමෙයි. හැමදෙනාටම ගොඩ යන්න උදවු කරන්න.
එදා ඇක්සිඩන්ට් එක වුණු දවසේ උදේ මේ දෙන්නා ඉඳලා තියෙන්නේ කොබෙයිගනේ ගෙදර. කුරුණෑගලත් මේ අයට ගෙයක් තියෙනවා. එදා මිනිස්සු වත්ත සුද්ද කර කර ඉඳලා තියෙනවා. පස්සේ වැඩ කරන අය පරක්කුයි කියලා මේ අයියයි මල්ලියි දෙන්නා එකතු වෙලා බැකෝ එක අරගෙන වත්ත සුද්ද කරලා. ඊට පස්සේ තමයි හවස ගිහින් තියෙන්නේ. සල්ලි තිබුණා කියලා නෙමෙයි හරියට මහන්සි වෙනවා. දරුවෝ වගේම අබේරත්න පවුල කියන්නෙත් කුරුණෑගල ඉතාම හොඳ මිනිස්සු. නිර්මාල් කවුරුවත් බඳින්න හිටියේ නැහැ. එයාලගේ උනන්දුව තිබුනේ ව්‍යාපාර කටයුතුවලට. පියුමාල් ජපානයේ ගිහින් අවුරුදු දෙකක් විතර ඇති. එයා ආවේ නිවාඩුවකට. නමුත් ඒ ආවට පස්සේ පියුමාල් ළඟදි හම්බ වුණේ නැහැ. අපිට අනිත්මට යන්න වුණේ අපේම රත්තරං යාළුවෝ දෙන්නෙක්ගේ මරණයට. මේ මරණය එයාගේ අම්මට තාත්තට දරා ගන්න බැහැ. ඒ දෙන්නම හොඳ සිහියකින් නෙමෙයි ඉන්නේ. අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් කොහොම දරා ගන්නද..ඒක අපිටත් දකින්නට අමාරු දසුනක්…..“
නිර්මාල්ගේ පියා ඩබ්ලිව්. එම්. අබේරත්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වගේම ඇතුගල්පුර ජාත්‍යන්තර රොටරි සමාජයේ ද ක්‍රියාකාරි සාමාජිකයෙකි. මව චන්ද්‍රා කුමාරි ඒකනායකයි. එපමණක් නොව ඔවුන් සමාජයේ කවුරුත් දන්නා හඳුනන ඉතාම සුහදශීලි පුද්ගලයන් විය. ධනවත් ව්‍යාපාරිකයකු වුව ද ඔහු ඒ බවක් නොපෙන්වමින් ඇති නැති කා සමඟත් සුහදව ඇසුරු කළ අයෙකි.
එහෙත් අවසානයේදී මෙලොව කිසිදු මවක හෝ පියෙකු විසින් නොඇසිය යුතු ජීවිතයේ අවාසනාවන්තම පණිවුඩයක් මේ ආදරණීය මවුපියන්ට ලැබී තිබුණි.
ඒ පුතුන් දෙදෙනා ගමන් කළ V8 වර්ගයේ ජීප් රථය කඹුරාපොල බුත්ගමු ඔයේ පාලම අසල වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ඔයට ඇදවැටී ඇති කිසිවකුත් නොඇසිය යුතු දුක්මුසු පණිවිඩයකි.
“පුතාලා දෙන්නා පාටිය ඉවර වෙලා ගෙදර එන්න ලෑස්ති වෙනවා කියලා අපිට වට්ස්ඇප්වලින් පණිවිඩයක් එවලා තිබුණා. ඒ වෙලාවේ මායි බිරිඳයි හිටියේ අපිට අයත් කොබෙයිගනේ ගෙදර. පුතාලා දෙන්නා පාටියට ගියේ ලොකු පුතාගේ වාහනයෙන්. රාත්‍රී දෙක කිට්ටු වෙලත් එයාලා ආවේ නැති එක අපිට ප්‍රශ්නයක් වුණා. පුතාලගේ ෆෝන්වලට කතා කළත් ඒවා වැඩ කළෙත් නැහැ. මේ නිසා අපි දෙන්නට බයකුත් ඇති වුණා “.
“පාන්දර දෙකට විතර අපි ළඟ වැඩ කරන සුසන්ත කියන කෙනා මට දුරකතනයෙන් කතා කරලා කීවා පුතාලට කරදරයක් කියලා. ඒ පණිවිඩයට අනුව ඒ වෙලාවෙම අපි අනතුර වුණු ස්ථානයට ගියා. එතකොට තමයි දැන ගත්තේ පුතාලා ගිය වාහනය ඔයේ වතුරට වැටිලා කියලා. ඒ වෙලාවෙත් කීප දෙනෙක් ඔයේ වතුරේ පිහිනමින් ඉන්නවා දැක්කා. ඔවුන් කිව්වා වාහනයක් වතුර යට තියෙනවා කියලා. පසුව බූම් ට්‍රක් රථයක් මගින් වාහනය වතුරෙන් උඩට ගත්තා. ඒකේ දොරවල් ඇරලා බලනකොට පුතාලා දෙන්නාම ඇතුළේ ඉන්නවා දැක්කා “… ඒ එම අවාසනාවන්ත දසුන සියැසින්ම දුටු පියාය.
අබේරත්න පවුලේ සමීපතම හිතවතකු වන ප්‍රකට ව්‍යවසායකයකු වන ඉබ්බාගමුවේ ගාමිණි රත්නසිරි ද මේ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අයෙකි.
“ අබේරත්න මහත්තයා මාත් එක්ක ඇතුගල්පුර රොටරි සමාජයේ ඉතා ළඟින්ම කටයුතු කළ කෙනෙක්. ඔහු රොටරි සමාජය හරහා බොහෝ සමාජ සේවා කටයුතුවලට නිර්ලෝභීව උදව් උපකාර කළ කෙනෙක්.
මේ නිසාම අපි නිතරම කුරුණෑගල නගරයේ තියෙන ඔහුගේ නිවෙසට ගියා. ඒ යන නිසා එයාගේ පුතුන් තුන්දෙනාත් අපිත් සමඟ නිතරම සුහදව ඇසුරු කළා. ඇත්තටම ඔවුන් දෙමාපියන්ට ඉතාම ආදරේ යහපත් දරුවන්. සහෝදරයෝ වුණාට තුන්දෙනා ආශ්‍රය කළේ යහළුවෝ වගේ. මේ අනතුර ගැන පණිවිඩය ලැබිලා මාත් එක්ක තවත් යහළුවෝ කිප දෙනෙක් අලුයම 5.00 වනවිට ඒ ස්ථානයට ගියා. ඉතාම අසීරු මෙහෙයුමකින් පස්සේ දරුවෝ දෙන්නත් එක්ක වතුරේ ගිලිලා තිබුණු ජීජ් රථය ගොඩට ගත්තා. ඇත්තටම ඒක ජීවිතයේ කිසිම දවසක නොදැකිය යුතු අවාසනාවන්ත දසුනක් වුණා “.
ආදරණීය දරුවන් දෙදෙනකුගේ අකල් වියෝව දැක සුවිසල් ඇතුගල ද කලකට පසුව හඬන්නට ඇත. තවමත් ඒ කඳුළු වියැකී නැත. මේ මවත් පියත් තවමත් පියවි සිහියට පත්ව නැත. මිහිපිට මවුපියන්ට විඳින්නට සිදු නොවූ වේදනාවකින් මේ මවත් පියාත් මැරි මැරී ජීවත් වන්නේය. කෙළිලොල් වියේ සිටම එකට හැදුණු සහෝදරයන් දෙදෙනාගේ වේදනාව තවමත් මේ මල්ලීට සිහිනයකි. ලස්සන ජීවිතයක් ගොඩ නඟන හැටි මේ අයියා මලෝ කෙතෙක් නම් දොඩමළු වන්නට ඇතිද? නමුත් ඒ සියල්ල දෛවය වෙනස් කළේ කුරිරු ආකාරයටය. ජීවිත තණ අඟ රැඳි පිනි බිඳුවක් බව කියාදෙන්නට මෙය ප්‍රමාණවත්ය.
(සුභාෂිණි ජයරත්න, කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න)
0 Comments