බිරිය සමග උරණ වී ඇයගෙන් පලිගැනීමේ අරමුණින් සිය දෙහැවිරිදි දරුවා ගිනිකූරක් දල්වා සිරුර පුලුස්සා පහර දි පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙක් තණමල්විල පොලිසිය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබීය.සිරුර පුලුස්සා පහරදී පැහැරගෙන ගිය දරුවා ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කරන විසි නව හැවිරිදි සෙබළෙකි.
මොහුගේ බිරිය කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම නිවෙසේ දී බිරිය සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බව පොලිසිය කියයි. ආරවුලෙන් පසු බිරියගෙන් පලිගැනීමේ අරමුණින් ගිනිකූරක් දල්වා සිය අවුරුදු දෙකක් වයස දරුවාගේ සිරුර පුලුස්සා පහර දී දරුවා ද පැහැර ගෙන ඔහු පදිංචිව සිටින තණමල්විල බලහරුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
කඩුවෙල පොලිසියට සහ කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට සැකකාර සෙබළාගේ බිරිය මේ බව පැමිණිලි කර ඇති අතර තණමල්විල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී දරුවා ද රැගෙන පොලිසියට පැමිණ භාරවීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව කියයි.දරුවා කෲරත්වයට පත්කර පැහැරගෙන ගියේ යැයි කියන චෝදනාව යටතේ සෙබළා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.පොලිස් භාරයට ගත් දරුවා වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරීමට නියමිතය. තණමල්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
0 Comments