
රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැටහතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සඟවා ගෙන, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන්තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු පෙරේදා (26දා) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි.ඔහු පෙරේදා (26දා) උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ, සහල් ඇසුරුමක බහා සඟවා ගෙන කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 026ක් බරැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි.මොහු ගුවන්තොටුපොළේ සිට වහාම රැගෙන යාම සඳහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියදුරෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියකද,
කාර් රථයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් මොවුන් තිදෙනා, ඔවුන් පැමිණි මෝටර් රථය සහ අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඊයේ (27දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර, මෙම සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමටද නියමිතය.
( ටී.කේ.ජී.කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval