italy-photo

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක්ද සන්තකයේ තබාගෙන කුරුදුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාරියාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු ඊයේ (27) අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.




සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.


ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහාකුරුඳුවත්ත පොලිසියට භාර දී ඇත.කොළඹ පිටකොටුව මැණින් මාර්කට්හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති ඔහු මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ඊයේ (27) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස වෙත ගොස් නිවෙස ද දැඩි පරීක්ෂාවට ලක් කර බිරිඳගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙම සැකකරු මෙම මරමස්ථාන සටහන් වෙනත් පාර්ශවයන් අතට පත්කර ඇද්ද ? මෙසේ සටහන් තබාගෙන ඇත්තේ කුමනකාරණයකට ද? ලබාගන්නා ඡායාරූප වඇෆ් තාක්ෂණය ඔස්සේ වෙනත් පාර්ශවයට යොමු කර ඇත්ද? යන්න පිළිබඳව සැකකරුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)