thalawakele-incident

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් ධාවනය කරන අතරතුර කොන්දොස්තරවරයා රියැදුරුට යකඩ බටයකින් පහරදී ඇති අවස්ථාවේදී රියැදුරු බස් රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළත් කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මේ වැදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.



එම පෞද්ගලික බස් රථයේ රථයේ රියැදුරු  සහ  කොන්දොස්තරවරයා අතර කාලයක සිට ආරවුල් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා නිතර රණ්ඩු වන බව ද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.සිද්ධිය වූ දින පෙරේදා (9) තලවාකැලේ බස් නැවතුම් පොළේ බසය නවතා තිබූ අවස්ථාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ද පිටුපසින් නැවැත්වීම නිසා කොන්දොස්තරවරයා බස් රථය පණ ගන්වන ලෙස රියැදුරුට පවසා තිබේ.

එහිදී රියැදුරු එය ගණන් නොගෙන සිට ඇති අතර ඉන් කෝපයට පත් කොන්දොස්තරවරයා රියැදුරුට බස් නැවතුම්පොළේ සිට බැණවදිමින් සිට ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. පසුව රියැදුරු බස් රථය පණ ගන්වා හැටන් දෙසට ගමන් කිරීමේදී කොන්දොස්තරවරයා නැවතත් රියැදුරුට බැණ වැදී අතර පසුව රියැදුරු ද කොන්දොස්තරවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි පොලිසිය පවසයි.



ඉන් කෝපයට පත් කොන්දොස්තරවරයා බස් රථයේ තිබූ යකඩ බටයක් ගෙන රියැදුරුට පහරදී ඇති බව පොලිසිය පවසයි. කොන්දොස්තර සිදුකළ පහරදීම් හේතුවෙන් රියැදුරු බස්රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළු කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මක වැදීම නිසා බස් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් පොලිස් ස්ථානයේ බැම්මට ද හානි ද සිදු වී ඇති බව පොලිසිය පවසයි.තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරු ද රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගයාන් සූරියආරච්චි