සිය බිරිය කුවේට් හිදී මිය ගිය බවට විදේශ කටයුතු අමාත්‍යාංශය වසර දෙකකට ඉහතදී කළ දැනුම් දීම හා වාර්තාව සැක සහිත බවත් එය පිළිගත නොහැකි බවත් අනාවරණය වී ඇතැයි වේයන්ගොඩ දෙදරු පියෙක් පවසයි.
වේයන්ගොඩ මාලිගාතැන්නේ එන්.කේ. සුමිත්‍රා ප්‍රියංගනී මහත්මිය 2019 ජූනි මාසයේ 11 වැනි දින කුවේට් දේශයේ රැකියාවක් සඳහා ගොස් ඇත. එහිදී ඇය කුසේ ඇතිවූ ගෙඩියක් හේතුවෙන් දැඩි ලෙස අසනීප වීමෙන් පසු ඇය ලංකාවට ගෙන්වා ගැනීමට සැමියා වන ඩබ්ලියු. ඒ. ලලිත් කමල්සිරි 54 මහතා කටයුතු කර ඇත.
ඒ සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව තානාපති කාර්යාලය කළ දැනුම්දීම අනුව කුවේට් හාම්පුතා අදාළ වෛද්‍ය වාර්තා ලබාදීමෙන් පසුව සේවා කාලය වසර දෙකක් නැති නිසා ගුවන් ටිකට්පතට තමන්ට මුදල් ගෙවීමට වූ බවද ලලිත් මහතා කීය.
ඒ අනුව ගුවන් ටිකට් පත ලබාදුන් බවත් අනතුරුව 2020-09- 26 වැනි දින බිරිය කුවේට්වලින් පිටවීමට නියමිතව තිබූ බවත් කියන ලලිත් මහතා ඇය කොරෝනා ආසාධිතයකු බව පවසා එදින ගමන වළකා ඇති බව ද කියයි. එහෙත් ඇයට අදාළ වාර්තාව කිසිවිටෙක ලබා දී නැති බැවින් බිරිය දින තුනක් තානාපති කාර්යාලය අසල රැඳී සිට විරෝධය පළ කර ඇත. පසුව කොරෝනා පොසිටිව් බවට 2020-09-25 වැනි දිනය සඳහන් වාර්තාවක් ඇයට ලබාදී ඇතත් ඇය කොරෝනා පරීක්ෂණයට පෙනී සිට ඇත්තේ 24 වැනි දින බවද ඇය සැමියාට දැනුම් දී ඇත. පසුව ඇය දින දහයක නිරෝධායන කාලයක් සඳහා කඳවුරකට ඇතුළත් කර ඇති අතර, දින හයකදී ආපසු යවා තිබේ. එහෙත් ඇය තානාපති කාර්යාලය භාරගෙන නැති බවත් 2020-10-11 වැනි දින අවසන් වරට බිරිය තමා සමඟ කතා බහ කළ බවද සැමියා සඳහන් කරයි. බිරිය තානාපති කාර්යාලය අසල සිට විරෝධය පළ කරන මුහුණු පොතේ පළවූ වීඩියෝවක්ද ඔහු සතුව ඇත.
ඒ ගැන ලලිත් මහතා මෙසේ සඳහන් කරයි. දෙවතාවක් මම බියුරෝවට ගිහින් පැමිණිලි කළා. 2020-10-30 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බිරිය මිය ගිහින් කියලා මට දැනුම් දුන්නා.
ඇය නිරෝධායන මධ්‍යස්ථානයේ නාන ස්ථානයක ගෙල වැලලාගෙන ඇති බවත් කිව්වා.
මිනිය ගේන්න තුන් ලක්ෂ විසිපන් දහසක් යනවා කිව්වත් කොරෝනා පොසිටිව් නිසා ගේන්න බැහැ කියාද කිව්වා. දේහය එහිදී වැළලීම සඳහා මගේ කැමැත්ත සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලුවා. මට කළ හැකි දෙයක් නැති නිසා 2020-10-30 වැනි දින මම දිවුරුම් ප්‍රකාශය ලබා දුන්නා.
පසුව බිරියගේ කොරෝනා වාර්තාවක් ලැබුණා. එහි සඳහන් වුණේ පරීක්ෂණය කළේ 2020-10-26 වැනි දින බවයි. බිරියට දුන් වර්තාවේ දිනය 25 වැනි දා වුණත් ඇය පරීක්ෂණයට පෙනී සිටියේ 24 වැනි දින බවට ලේඛන මා සතුව තියෙනවා. බිරියගේ මරණයට අදාළ පොටෝ එකක්වත් ඇගේ ගමන් බලපත්‍රය ඇතුළු ලේඛනවත් ඇගේ දුරකතනය ඇතුළු දේපොළ කිසිවක් හෝ තවමත් මට ලැබී නැහැ. මේ අතර 2022 ජූලි මාසේ මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් මට දැනුම් දුන්නා බිරිය වෙනුවෙන් ලැබුණු මුදලක් භාර ගැනීමට ඇගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ලිපි ලේඛන අරන් එන ලෙස. වසර එකහමාරකට පස්සේ බිරියගේ මරණ සහතිකය එව්වා. එය අනුව බිරිය මියගිහින් තියෙන්නේ 2020-10-11 වැනි දිනයි. ඇගේ දේහය පසු දිනම මිහිදන් කර තිබෙනවා. එසේ නම් ඊට දින 18 කට පස්සේ දේහය එහෙ වළ දමන්න මගේ කමැත්ත ලබා ගත්තේ ඇයි. මේ ලිපි ලේඛනවල දිනයන්හි පරස්පරතා නිසා මට බිරිය මියගියා යැයි කීමත් සැකයක් පවතිනවා. ඇය තවමත් ජීවතුන් අතර බව මට හිතෙනවා. ඒ නිසා මා මේ ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපතිතුමාගෙන් හා සියලු ආයතනවලින් ඉල්ලීම් කළත් තවමත් ප්‍රතිඵලයක් ලැබී නැහැ. මේ නිසා මම දුවත් පුතාත් සමඟ තවමත් බිරිය එනතුරු බලා ඉන්නවා යැයි ද ලලිත් මහතා කීය.
( කොටදෙණියාව එම්. පුෂ්පකුමාර)
0 Comments