ranna-incident

 හුංගම රන්න  නගරයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය (හාඩ්වෙයාර්) වෙළඳසල් හිමිකරුවකු පෙරේදා (09) රාත්‍රී වෙඩිවැදී මියගොස් ඇතැයි හුංගම පොලීසිය පැවැසීය. මිය ගොස් ඇත්තේ සුමුදු නිශාන්ත ලංකාමුල්ල නැමැති එක් දරු පියකු බව පොලිසිය කියයි. මියගිය 52 හැවිරිදි ව්‍යාපාරිකයා සහ බිරියත්,දියණියත් වෙළෙඳසලේ උඩු මහලේ ජීවත්වී ඇතැයි ද පොලිසිය කියයි.



ව්‍යාපාරිකයාට අයත් ලොරි රථයක ඩීසල් කිහිපවිටක් හොරෙන් ගෙන තිබුණු බවත් එම ලොරි රථය පරීක්ෂා කිරීමට යනඅතරතුර දී වෙඩි වැදී ඇති බවත් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිය පවසා ඇතැයි පොලිසිය පැවැසීය.

මියගිය ව්‍යාපාරිකයාට අයත් බවට සැලකෙන පතොරොම් තුවක්කුවක් ඔහු ජීවත් වූ උඩු මහලේ බිම වැටි තිබිය දී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශනාගාරයේ විමර්ශන නිලධාරීහු ස්ථානීය පරීක්ෂණයක් කළහ.අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රභාත් වීරසිංහ මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

සනත් ගමගේ