cricket-board-extended

 විස්සයි - 20 ලෝක කුසලාන තරගය පැවැත්වෙන කාල සීමාවේ දී ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාල සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කිරීමට ද ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයෙන් හැකියාව ලැබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවද කිරිඇල්ල මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (10) උදේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.



ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පත්වන්නේ වසර දෙකක කාලයකට. අවශ්‍යනම් තව අවුරුදු දෙකකින් ඔවුන්ගේ කාලය දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා. 2025 මාර්තු මාසයේ දී වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ධූර කාලය අවසන් වනවා. ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට 2025 මාර්තු මාසයේ දී ඉදිරි වසර 4 කට නිලවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා.

ඒ කාලය අවසන් වූ පසු තවත් අවුරුදු 4 ක් එම ධූරවල කටයුතු කළ හැකියි. එවිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8 ක් දක්වා දීර්ඝ වෙනවා.අධිකරණය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ වාර්තාව වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි

විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා. ආණ්ඩුව චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගන්න ක්‍රීඩා සමාජ අඩු කරන බවත් සඳහන් කළා. නමුත් ලෝක කුසලානය පැවැත්වෙන කාල වකවානුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8 ක් දක්වා ඡන්දය ඉල්ලන්න පුළුවන් ආකාරයට ගැසට් නිවේදනය සකස් කරලා තිබෙනවා.
නිමල කොඩිතුවක්කු