වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කළේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුදුවත්ත පොලිසියට ඊයේ (10) නියෝග කළේය.කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍යයක් කිරීමෙන් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධාවක් කළේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට එසේ නියෝග කළේය.



මෙම සිද්ධියට අදාළ පමිණිල්ල කැඳවු අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවෝ 13 දෙනෙක් සහ එක් පුද්ගලයෙක් අධිකරණයේ පෙනී සිටියහ.2022 නොවැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්ධෘත නීතිපතිවරයාට යවා ඇතැයි පැවසූහ.

සිද්ධිය වු 2022 නොවැම්බර් 14 වැනිදා රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරීහු ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි දැනුම් දුන්හ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඇතුළු පිරිස කාන්තා අයිතීන් වෙනුවෙන් එදින වීදි නාට්‍යයක් කර ඇතත් පොලිස් රාජකාරියට කිසිදු බාධාවක් කර නැතැයි කීය.නමුත් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු තම සේවාදායිකාව ඇතුළු පිරිසට කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍ය පෙන්වීමට බාධා කර ඇතැයිද නීතිඥ අතුල රණගල මහතා වැඩිදුරටත් පැවසීය.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ඇත්තම් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කළේය.


 රෝෂන් තුෂාර