wijayadasa-rajapaksa-slfp

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීමෙන් සියලු පාර්ශ්ව වළක්වාලමින් කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය ඊයේ (13දා) වාරණ නියෝගයක් නිකුත් කළාය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහත්වරුන්ට 

සහ දේශපාලන මණ්ඩලයට පක්‍ෂයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අවස්ථාව දෙන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ දිසා විනිසුරුවරිය ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළාය.



ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනෙකු සහ ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන මහත්වරුන් ගොනුකර තිබු මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් විධායක කාරක සභිකයන් 20දෙනෙකු නම් කර තිබිණ. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් පසුගිය 12වැනිදා පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කළ හෙයින් විජයදාස රාජපක්ෂ මහතාට මෙන්ම වැඩබලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතාටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයටද අදාළ තනතුරුවල කටයුතු කිරීමෙන් සෙසු පුද්ගලයන් වළකාලන්නැයි ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදාළ තනතුරුවල කටයුතු කිරීමට තම සේවාදායකයන්ට බලපෑම් එල්ල වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා එම කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අවස්ථාව සලසන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරිය මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට නියම කළාය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ රසික දිසානායක මහතා සමඟ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු