panadura-thorana

පානදුර ඓතිහාසික වෙසක් තොරණ ලොව මෙතෙක් ඉදි වූ විශාලතම තොරණ ලෙස  ගිනස් වාර්තා අතරට ද එක් වන්නට සූදානමින් ලහි ලහියේ ඉදි වෙමින් තිබේ. පානදුර ජයතිලක මාවතේ ඉදි වෙන එම තොරණහි උස අඩි අසූ දෙකකට වැඩි ප්‍රමාණයකි. පළල අඩි අසූ හයකට වැඩි ප්‍රමාණයකි.

එය විදුලි බුබුඵ් එක්ලක්ෂ දසදහසකට ආසන්න ප්‍රමාණයකින් ද ඒකාලෝක වනු ඇත.පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ද ආධාර ඇතිව මෙම තොරණ ඉදි කරන අතර පසුගිය වසරේ (2023) එය ශ්‍රී ලංකාවේ විශාලතම තොරණ ලෙසද අභිෂේක ලැබීය.



පුවක් කොටන් යොදා ගනිමින් ලංකාවේ දැනට ඉදිකෙරෙන එකම තොරණ ලෙස සැලකෙන මේ සදහා මෙවර පුවක් ගස් හාරසියයක් පමණ යොදා ගෙන ඇති අතර ඒවා බුලත්සිංහල, යක්කලමුල්ල, මතුගම ආදී ප්‍රදේශවලින් සපයා ගෙන ඇත.වෙසක් පුන් පොහෝ දින සිට නන්දිවාණිජ කතා වස්තුව පිළිබිඹු කෙරෙන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශනය කිරීම සදහා පනහකට ආසන්න පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිති. මෙහි ප්‍රධාන නියමුවා වන පානදුර එක්සත් පොදු වෙළෙඳ පොළ බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

"මෙවර ලංකාවේ ඉදිකරන කිසිදු විශාල තොරණක් සදහා පුවක්ගස් උපයෝගී කරගන්නා බව දැනගැනීමට නැහැ.

බුරුමය, චීනය, සිංගප්පුරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවත් තොරණ ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිවූ බවට කිසිදු සාක්ෂියක් නැහැ.ඓතිහාසික තොරණ මෙවරත් තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රකට කලාකරුවකු වන වර්ණගේ සිත චතුරංග මහතායි. ඇකුලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙන්ම පුද්ගල චිත්‍ර ත්‍රිමාණ සිකුවින් භාවිතා කිරීමද විශේෂත්වයකි.විදුලි ශිල්පි ලෙස කටයුතු කරන නිමල් ප්‍රනාන්දු මහතා පැවසූයේ වොට් 5 බල්බ 55,000ක්, එල් ඊ ඩී බල්ට් 25,000ක්, 1.10 බල්බ 21,000 සහ ෆික්සල් ඛල්බි 2500කට ආසන්න ප්‍රමාණයක් මෙවර නිර්මාණයට යොදා ගන්නා බවයි. පානදුර මහා තොරණ ලබත මැයි 23 දින සිට මැයි 30 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
සුමිත් නෙතුපිටිය