old-boys-story

 බොහෝ අයට පාසලත් ආගමක් බඳුය. ඒ නිසාම ශිෂ්‍යයෝ හෝ ශිෂ්‍යාවෝ සිසු කාලයෙන් එහාටත් පාසල් යෑමට ශිෂ්‍ය, අදී ශිෂ්‍ය ලෙස නම් පටලාගෙන ඇත. තමන් උගත් පාසල සමඟ ඇලී ගැලී සිටීම නරක වැඩක් නොවේ. එහෙත් සිසු කල නොතිබූ හයිකාරකම් හිමිකාරකම් ආදි ශිෂ්‍යයන් ලෙස පවත්වාගෙන යෑම යනු අවැඩක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා පීඩාවට පත්වන්නේ නැවත පාසලට ඒමට සිටින සහ නැතහොත් පාසල තුළ සිටින දරුවන්ම වීම එක්තරා විදිහකට ඛේදවාචකයකි. “මම ආදි ශිෂ්‍ය සංගමයට බැඳුණේ මගේ ළමයා ඉස්කෝලෙට දාන්න ඕන හින්දා.
ඇත්තම කතාව ඒක තමයි. අවුරුදු පහක් මම ඒකේ හිටියා. හැම වැඩකටම ගියා. මට පුළුවන් විදිහට සල්ලි දුන්නා. කොයි වෙලෙත් සල්ලි ඉල්ලනවා අරකට මේකට කියලා. කොහොම හරි මාත් ලක්ෂ ගාණක් දීලා තිබුණා. ඒත් අන්තිමට මගේ ළමයට ඉස්කෝලේ ලැබුණේ නැහැ. මේකම විශ්වාස කරලා වෙන ඒවට උනන්දු වුණෙත් නැහැ. අන්තිමට පාසල නැති වුණා. මම ගිය ඉස්කෝලේ මගේ ළමයට නැති වුණා. ඒ අවුරුද්දේ ආදි ශිෂ්‍යයන්ගේ ළමයි ගොඩක් හිටියා ඉස්කෝලෙට එන්න. එතකොට මම අනෙක් අයට වඩා පාසලට උදවු කරලා තියෙනවා මදිලු. මාව කැපෙන්න හේතුව ඒක. මම පන්දාහක් දෙනකොට තව කෙනෙක් දහයක්, විසිපහක් දෙනවා. ඊටත් වඩා දෙනවා. මේවට ස්ථීර ගාණක් නැහැ. පුළුවන් විදිහට දෙන්න කීවහම

පුළුවන් කෙනා උපරිම දෙනවා. මගේ ළමයට ඉස්කෝලේ නැති වුණා. මම අදටත් ඉස්කෝලේ දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. මට ගෙදර ඉන්න බැරි වුණා. බිරිය පවා ඔයාට ඔයාගේ ඉස්කෝලෙට ළමයා දාගන්න බැරි වුණානේ කියන මැසිවිල්ලෙම හිටියා. මගේ මවුපියනුත් එහෙමයි. මගේ තාත්තා ගියෙත් මගේ සහෝදරයෝ ගියෙත් ඒ පාසලටමයි. අපි ගෘහ මූලික පදනමෙන් දැම්ම නම් චාන්ස් එකක් ගන්න තිබුණා. ඒත් ආදි ශිෂ්‍ය පදනමට ගිහින් කලකිරීම විතරක් ඉතිරි වුණා. ළමයා ඉන්ටනැෂනල් ස්කූල් එකකට යන්නේ.”



මේ කොළඹ ඉහළම පාසලකට තම ළමයා ඇතුළත් කර ගැනීමට නොහැකි වූ පියකුගේ කතාවය. පාසලේ නම සහ ඔහුගේ නම හිතාමතාම නොදා සිටිනුයේ සදාචාරාත්මක නොවන බැවිනි. තව මවකගේ කතාව වුණේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළ තනතුරු දරන අයගේ මැදිහත්වීම නිසා තම දරුවාට සහ කිහිපදෙනකුට ශිෂ්‍ය නායක තනතුරු අහිමි වූ බවය.

පාසලේ නම සඳහන් කරන්නමැයි ඇගේ යෝජනාවය. තම දරුවන් දැන් පාසලෙන් ඉවත් වී ඇති නිසා ළමයාට ගැටලුවක් නැති බව ඇගේ අදහසය. මේ සැම අවසානයේ සිටිනුයේ පාසල සමඟ වෛරයෙනි. හේතුව ආදි ශිෂ්‍යයන් වුවත් වෛරය කෙළවර වී ඇත්තේ පාසලෙනි. මෙවැනි කතා කිහිපයක්ම ඇසූ මුත් අවසානයේ එකම කරුණක් වටා කැරකේ. ඒ ආදි ශිෂ්‍ය බලය වටාය. පාසලේ නාමධාරිකම මත ආදි ශිෂ්‍ය රැස් වළල්ලද ප්‍රබලය. කුඩාම පාසලේ සිට මහා නම් දරන පාසල් දක්වා මේ බල ව්‍යාපෘතිය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක බව ඒ පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලිය. අපහැදිලි කරුණ නම් මේ වායේ කෙළවරක් පේන මානයක නැත්තේ ඇයිද යන්නය.

මේ මාතෘකාවම බොහෝ අයට අපුල මාතෘකාවක් වන්නෙ සැවොම පාසල සමඟ ඇලී ගැලී සිටින ආදි ශිෂ්‍යයෝම වන නිසාය.

තම පාසල විවේචනය කිරීම රට ජාතියට ද්‍රෝහී වන තැනට බොහෝ අය දමාගෙන ඇත. පාසලේ අඩුපාඩු මාධ්‍ය හරහා පෙන්වා දීම නිසා ආදි ශිෂ්‍ය තම මිතුරන්ම තමාට පාසල තහනම් කලාපයක් කළ බව එක් අයකු පැවැසීය. මේ සැවොම ප්‍රසිද්ධියේ තම සිද්ධිය කීමට ඉදිරිපත් වෙතත් එයින් පාසල්වල නම් ඉලිප්පීම අති බහුතරයක් වන එම පාසල් ලෝලීන්ගේ හිත් බිඳීමක් වන නිසා ඒවා එළියට නොඅදිමු. එහෙත් ඇත්ත නම් ඉතා දරුණු මාෆියාවක්, කල්ලි වාදයක්, දේශපාලනයක් මේ බොහෝ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් හරහා ව්‍යාප්ත වීමය.

පාසල් කියන්නෙම බොහෝ අයට ස්වෝත්තමවාදයකි. එයත් ජාතිවාදය පන්නයේම රෝගයකි. එදා පාසලේ එක බත් පත කෑ ගජ මිතුරන් වුව වැඩිහිටියන් වූ පසු පාසල දෙස බලන්නෙ වෙනම මනසකිනි. තම දරුවා පාසලට දමා ගන්නවා නම් තම හොඳම මිතුරාගේ ළමයට වුව අංචිය අදින්නට ලෑස්තිය. ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ලෙස ගොඩනැඟුණු බැඳියාව ආදි ශිෂ්‍යයන් ලෙස නැත. එලෙස මිතුරුකම් නඩත්තු කරන ආදි ශිෂ්‍ය කණ්ඩායම්ද ඇත. ඒවා කල්ලි ගැසී ඇත්තෙම එම නඩත්තුවටය. පාසල් තුළ ආදි ශිෂ්‍ය කණ්ඩායම් කිහිප ආකාරයකට දැකිය හැකිය. එක් කණ්ඩායමක් පාසල වෙනුවෙන් තමන්ගේ කාලය, ධනය උපරිම යොදමින් පාසල දියුණු කිරීමේ අදහසින්ම එන ආදි සිසුන්ය.

ඒ අතර තවත් පිරිසක් තමන්ගේ පැරණි මිතුරන් හමු වීමත් ඒ අය සමඟ යටගියාවන් බෙදා ගැනීමටත් එයම වින්දනයක් කර ගැනීමත් පෙරමුණ කොටගෙන ආදි ශිෂ්‍ය පදනම පවත්වාගෙන යති. මේ අයද පාසලට ධනය, කාලය කැප කරන මුත් ඒ පාසලට ඇති ආලය සහ පාසලින් ගොඩනැඟුණු මිතුරු නඩත්තුව නිසාමය.

මේ දෙපිරිසට අමතරව තවත් පිරිසක් දැකිය හැකිය. ඒ තමන්ගේ ළමයා පාසලට දමා ගැනීම මූලික කරගෙන පාසල වෙනුවෙන් තමන්ගේ කාලය ධනය වැය කරන ආදි පිරිසය. මේ පිරිස විශාලය.

මේ අයටත් අමතරව තවත් පිරිසක් ඇත. ඒ පාසලේ බහිරවයෝය. ඔවුන් ආදි ශිෂ්‍ය බලය අල්ලාගෙන ඇත්තේ පාසලෙන්ම ගොඩ එන්නටය. විදුහල්පති අල්ලාගෙන ආදායම් තර කර ගන්නටය. පාසලට ළමයින් ඇතුළත් කර මුදල් ලබා ගැනීමටය. පාසලින් ඉපැයිය හැකි හැම ආකාරයෙන්ම ඉපැයීම මොවුන්ගේ අරමුණය. මේ පිරිස පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්හී. ප්‍රධාන නිලතල අල්ලාගෙන ඇත.

මේ නිලතල බෙදාගන්නා කල්ලි කණ්ඩායම් ඇත. ඇතැම් පාසැල්වල ඉහළ නිලතල යන්නේ පවුල් පරම්පරාවලටය. එය එක ආකාරයකට වර්තමාන දේශපාලනයේම කැඩපතකි. වාර්ෂික සභාවලදී නිලතල කමිටු සාමාජිකත්ව බෙදෙන්නේද මේ කල්ලිවලට අනුවය. දරුවන් ඇතුලත් කිරීමට සිටින තරුණ ආදි ශිෂ්‍යයන් මේ කමිටුවලට ගොඩවන්නට දරන්නේ මහ පොරයකි.



විශාල බලයක් ආධිපත්‍යයක් මොවුන් දරන අතර පාසල්වල ආදි ශිෂ්‍ය මාෆියාවට හේතුවත් මොවුන්මය. බොහෝ පාසල්වල සංවර්ධන ව්‍යාපෘතියන්හී පෙරමුණ මොවුන් ගන්නෙම තම මඩිය තර කර ගන්නටය.

පාසල තුළ ලොකු බලයක් ආදි ශිෂ්‍ය සංගමය සතුව පවතී. ආදි ශිෂ්‍ය සංගම්වලට පාසලේ ක්‍රියාකාරකම්වලට මැදිහත් වන්නට කිසිදු නීතිමය ඍජු අයිතියක් නැත. එහෙත් පාසල් ක්‍රමවේදය තුළ ගොඩනඟා ඇති යම්කිසි වරප්‍රසාදයක් නීතිමය බලයක් බවට පත්වී ඇත.

ඒ, පළමු ශේ‍ර්ණියට සිසුන් බඳවා ගැනීමේදී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 25%ක පමණ දැවැන්ත කෝටාවක් ලබාදීම නිසාය. මේ නිසාම පාසල ආසන්නයේ පදිංචි ළමයින්ට පවා අවස්ථා අහිමි වේ.

තමන් ඉගෙනගත් පාසලට පරිත්‍යාග කිරීම, හැකි උපරිමයෙන් උදවු කිරීම නරක වැඩක් නොවේ. එහෙත් එම පරිත්‍යාග කොන්දේසි මත ලබා ගැනීම කළ යුතුය. එසේ නොවුවහොත් පරිත්‍යාග මුවාවෙන් පාසලේ සියලු හිමිකාරිත්වය මොවුන් අතට ගැනීම සිදු වේ. විදුහල්පති ඉන්නවාද නැද්ද යන්න පවා මේ බල ව්‍යාපෘතියේම කොටසක් බවට පත් වේ.

දැනට පවතින ක්‍රමවේද මත පාසල්වලට අවශ්‍ය වියදම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සපුරාලිය යුතුය. පාසල්වල වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළය. ඉන් එහා පාසල් හැදීම විදුහල්පතිවරුන්ට අදාළ කරුණක් නොවේ. එහෙත් විදුහල්පතිවරුද ආදි ශිෂ්‍ය කල්ලියට එකතු වී ඒ අයගේ සංවර්ධනයත් පාසල්වල නාමයෙන් කරගනිති.

බොහෝ විදුහල්පතිවරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට වඩා ආදි ශිෂ්‍ය සංගම්වල වුවමනාවන් ඉටු කරති. දැනට පාසල්වල සියලු මූලික වියදම් කරන්නෙ රජයය. ඒ අතර ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ප්‍රධානය. ගුරු ධාරිතාව සංවර්ධනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේම කාර්යයකි. එහෙත් ආදි ශිෂ්‍ය සංගම් සෙසු ඉදිකිරීම්වල කාර්ය අතට ගෙන එහි ආධිපත්‍ය මත පාසලේ සියල්ල තීන්දු කරන තැනට පැමිණ ඇත. පිහිනුම් තටාකයක් හැදීම විශාල ධනස්කන්ධයක් වැය වන වැඩකි.

ඒ නිසාම පාසලකට පිහිනුම් තටාකයක් තිබෙනවා යන්න පාසලේ අභිමානයේ පදාසයක් වී ඇත. මේවාට රජයට මුදල් වියදම් කළ නොහැකිය. එවිට ආදි ශිෂ්‍ය හයිය, බලය මත මෙවැනි ව්‍යාපෘති ශක්තිමත් කරගත හැකිය. මේවා හරහා බැඳෙන ආදි ශිෂ්‍ය ප්‍රබලයන් සහ විදුහල්පතිවරුන් ඒවා මුදල් මවන ඉල්ලම් බවට පරිවර්තනය කර ගනිති. ඊට එරෙහි වන්නේ නම් විදුහල්පති ගෙදර යැවීමද මේ ආදි ශිෂ්‍ය කඳවුරේම වැඩක් වී ඇත. ආදි ශිෂ්‍ය මාෆියාවේ සිටින විදුහල්පතිවරුන්ටද එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම රජයේ වැඩක් වුවත් රජයේ තීන්දු තීරණ ගන්නා අය පවා මේ ආදි ශිෂ්‍ය සංගම්වල ප්‍රධානීන් බව දැකිය හැකිය. ඒ නිසා මේ ආදි ශිෂ්‍ය මාෆියාව ලේසි පහසු බූවල්ලෙක් නොවේ. මේ සියලු කෙළි බොහෝමයක් පවතිනුයේ මෙරට ජනප්‍රිය නාමධාරී පාසල්වලය. කුඩා ග්‍රාමීය පාසල්වල ආදි ශිෂ්‍යයන් එතරම් කෙළිකාරයන් නොවන නිසා මෙන්ම එම කුඩා පාසල්වලට ගිය අයගෙත් එකම අරමුණ තම දරුවා හොඳ, පහසුකම් සහිත ජනප්‍රිය නමක් ඇති පාසලකට දැමීම නිසා එම පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් නමටවත් නැති තරම්ය. හැම තැනම මේ ආධිපත්‍ය, මාෆියාව තදට ගියේ නම් අද බොහෝ පාසල් වැසී යන්නේ නැත. ඇති හැකි පාසලම සංවර්ධනය කරන නැඹුරුතාව වැඩි නිසා නාමධාරී පාසල්  අනුව මෙම ආදි ශිෂ්‍ය ආධිපත්‍යයද වෙනම මුහුණුවරක් ගෙන ඇත.

ආදි ශිෂ්‍ය සංගම් මේ නිසා වුවමනා නැතැයි අදහසක් හෝ ඒවා වැඩකටම නැති මාෆියා බව මේ ලිපියෙහි අරමුණ නොවේ. ඉහළ පාසල්වල මේ මගෝඩිය තදින් ක්‍රියාත්මක වන බවට පැමිණිලි වැඩිය. ඒ කතා සියල්ල තුළ ඇත්තේ අවසානයේ කාගේ හෝ ළමයකුට වන අසාධාරණයකි. මේ නිසා ආදි ශිෂ්‍ය සංගම් පවා තමන්ට අයත් නොවන කටයුතුවලට වන මැදිහත්වීම නවතා දැමිය යුතුය. පාසල් සංවර්ධනයට මේ අයගේ මැදිහත් වීම අති විශාල වුවත් එහි නරක පැත්තටද මේ අයගේ මැදිහත්වීම ලොකුය. බිග් මැච් පවා අද ආදි ශිෂ්‍යයන්ගේ කාලයට සරිලන විනෝදයක් වී ඇත.



පසුගිය කාලයේ උමතුවක් වූ බැක් ටු ස්කූල් පන්නයේ නාටක පවා ආදි ශිෂ්‍ය විගඩම්ය. මේ හැම එකකම යටි අරමුණෙහි ව්‍යාපාරික අරමුණු ඇත. පාසලටම නාකි වන ආදි ශිෂ්‍යයෝ ඕනෑ තරම්ය. මේ අය අද ශිෂ්‍යයන් නොවේ. ආදි ශිෂ්‍ය වූ පමණින් මේ අය පාසලට පුදුමාකාර ලෙස ළැදි පිරිසක් ලෙසම ගතයුතු නැත. උමතු වූවෝද දේවල්වලට පුදුම විදිහට ළැදිය. ලංකාවේ හැම විනාශයම දේශපාලකයන් නිසාම සිදුවනවා යැයි සිතන

මිථ්‍යාවෙන් මිදිය යුතුය. හැම අංශයකම එය අඩු වැඩි ආකාරයෙන් ඇත. ළමයා පාසලට ඇතුළත් කරන තැන සිට ඒ ළමයා ලොකු වී ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දක්වා එන ගමන තුළම ඇත්තේ වංචාව, දූෂණය, අල්ලස, නාස්තිය නම් තවත් කුමන කතාද? ආදි ශිෂ්‍ය සංගම්වලට අපි විරුද්ධ නැත. එහෙත් ඒවායේ ඇති මාෆියාව අහවර කළ යුතුය. එය ඔප්පු කරන්නට ඕනෑ තරම් උදාහරණ දිය හැකිය. එහෙත් පාසලක නමක් ඒ හරහා කිලිටි නොකළ යුතුය. ආදි ශිෂ්‍ය සංගම් විනාශ කරන පාසල් රැකගැනීමත් ආදි ශිෂ්‍යයන්ටම කළ හැකිය. ඒ හොඳ ක්‍රියාකලාපයන් තුළිනි.

ටිරන් කුමාර බංගමආරච්චි