මාලදිවයිනේ පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමකින් ජනාධිපති ලෙස පත්වී ඉතිහාසය අලුතින් ලියුවේ මොහොමඩ් නෂීඩ්ය. ‘අන්නී’ නමින් මාලදිවයින් දේශපාලන සගයන් හදුන්වන නෂීඩ් ශ්‍රී  ලාංකිකයන් අතර මෑතකදී කතා බහට ලක් වූයේ නම් ඒ බලය අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාකාරී ලෙස මෙරටින් පිටවී මාලදිවයින තුළ රැකවල් දීමට සම්බන්ධ වූ බවට වූ කතා නිසාය. මේ නෂීඩ් පසුගියදා මෙරටට පැමිණියේය. ඒ මොහොතේ  ඔහු විශේෂ කතාබහකට එක්විය. ලංකාව එක්ක ඔබට බොහෝ පැරැණි ගනුදෙනුවක් තියෙනවා නේද? ඔබට මතක විදිහට මුලින්ම ලංකාවට එන්නේ මොන කාලේද?

ඔව්… මම මාලදිවයිනේ පාසලක මූලික අධ්‍යාපනය ලබලා ලංකාවට එනවා 1980දී වගේ… හරියටම කිව්වොත් 1981දී. පැලවත්තේ තියෙන ඕඒසිස් ජාත්‍යන්තර පාසලේ  1981 සිට 1983 දක්වා ඉගෙන ගන්නවා. ඊට පස්සේ එංගලන්තේ විල්ට්ෂයර්හි බෝඩිම් පාසලකට ඇතුළු වෙනවා. මගේ උසස් අධ්‍යාපනය වනතුරු  එහෙ ඉඳල 1989 මාලදිවයිනට එනවා. හැබැයි හරියට බැලුවොත් මම මාලදිවයිනට වැඩිය කාලයක් ගත කරන්නේ ලංකාවේ සහ බි්‍රතාන්‍යයේ.

ඒ ඇයි? මාලදිවයින කියන්නේ ඔබේ රටනේ?

ඒ ඇයි  කියලා අපි ඉදිරියට කතා කරගෙන යද්දී ඔබට වැටහෙයි. මම මෙහෙම කියන්නම්කෝ. මම 89දී මාලදිවයිනට ඇවිත් ‘සංගු’ කියලා පොඩි මැගසින් එකකට (Sangu Magazine) එකතු වෙනවා ලියුම්කරුවෙක් විදිහට. නමුත් ජනාධිපති අබ්දුල් ගයූම් මෙහි පළ වන ලිපිවලින් කිපෙනවා. ඒ නිසා ආණ්ඩුව අපේ සඟරාවේ ලියාපදිංචිය අවලංගු කරලා මුළු කර්තෘ මණ්ඩලයම අත්අඩංගුවට ගන්නවා.

මේ මොන කාලෙදි වගේද?

1990 මුල. හරියටම බැලුවොත් 90 ඉඳන් 94 වෙනකන් මම ඉන්නේ බන්ධනාගාරගතව. 1994දී නිදහස ලබලා එළියට ආවම මම ආයෙත් කොළඹට එනවා. 94-95 කාලයේදී මම ලංකාව, එංගලන්තය සහ මාලේ අතර මාරුවෙන් මාරුවට ජීවත් වෙනවා.

මේ කාලේ ඇතුළතද ඔබ මාධ්‍යවේදියෙක් විදිහට ගොඩනැඟෙන්නේ?

ඔව්… මම පුවත්පත් කිහිපයකට ලියනවා මේ අතර. ඒ අතරින් මට සුවිශේෂම වෙන්නේ ප්‍රවීණ කතුවරුන් දෙදෙනෙක් වන එඩ්මන්ඩ් රණසිංහ සහ ගාමිණී වීරකෝන් යටතේ ද අයිලන්ඩ් (The Island) පුවත්පතට වැඩ කරන්න ලැබෙන එක. හැබැයි මම ගයූම් පාලනය අකමැති ලිපියක් ලියපු ගමන්… කොටින්ම ජනාධිපති ගයූම් කුපිත වෙන දෙයක් ලිව්වම අත්අඩංගුවට පත් වෙනවා. මේ විදිහට 1999 වෙනකන්ම මම හිරේට යනවා එළියට එනවා. 1999දී මම මාලේ ආසනයට තරග කරනවා. ඒකෙන් දිනලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් වෙනවා.



ඊට පස්සේ ආයෙත් හිරේ ගියේ නැද්ද?

99 ඉඳන් 2002 වෙනකන්ම මම පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් විදිහට කටයුතු කරගෙන යනවා. ඔය අතරේ මාව ආයෙත් අත්අඩංගුවට ගන්නවා. 2003 අග භාගයේදී නිදහස් වෙනවා. මේ වෙද්දි මම මේ වැඩෙන් හෙම්බත් වෙලා ඉන්නේ. මට තවදුරටත් මේ අත්අඩංගුවට පත්වීමයි එළියට ඒමයි කරගෙන යන එක වෙහෙසකර වෙනවා.

ඉතින් ඔබ දේශපාලනය අතහරින්න තීරණය කරනවද?

(සිනාවක්) නෑ… මම ආයෙත්, මම ආරක්ෂිතයි කියලා දැනෙන රටට ඇවිත් එහේ ඉඳලා දේශපාලන කටයුතු ශක්තිමත් කරනවා.

ඒ කියන්නේ ආයෙත් මාලේ අතහැර යනවා?

ඔව්… හැබැයි එහෙම අතඇරලා එන්නේ මට වඩාත්ම ආරක්ෂිතයි කියලා දැනෙන රටට… ඒ කියන්නේ ලංකාවේ මේ කොළඹ නගරයට. මට මතකයි මම කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගිහින් තමා මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) ලියාපදිංචි කරන්නේ. ඒ තමයි මාලදිවයිනේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඊට පස්සේ අපි පක්ෂයේ කටයුතු කොළඹ සහ එංගලන්තයේ සිට මෙහෙයවගෙන ගියා.

ඒ කියන්නේ ඔබ ජනාධිපති දක්වා ගිය ගමනට අඩිතාලම දාන්නේ ලංකාවේ ඉඳන්…?

ඔව්. 2007දී මම ආපහු මාලේ ගිහින් එහේදිත් පක්ෂය නැවත ලියාපදිංචි කරනවා. මේ වෙද්දි අපි ලබපු ලොකුම ජයග්‍රහණය තමා මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා පළමු බහු පක්ෂ ඡන්දය පවත්වන්න කටයුතු කරපු එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය නීතිමය කටයුතු, උපදෙස් වගේම මහජන සහාය ලබා ගන්න කටයුතු කළේ කොළඹ ඉඳලයි.

ඉතින් බැද්දගානේ පොඩි කාර්යාලයක් දාගෙන වැඩ කරලා තමා 2007 පළමු නිදහස් සහ සාධාරණ මැතිවරණය (ජනමත විචාරණය) තියන්නේ. අපි එයින් ජය ගන්නවා. ඉන් පස්සේ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ජයග්‍රහණය කරනවා.

එයින් පසුව නම් ඔබ අත්අඩංගුවට පත් වීම නවතින්න ඇති? රටේ ජනාධිපති කෙනෙක්ව හිරේ දාන්නේ නැහැනේ නේද?

හැමදාම දිනන්නේ නැහැනේ. 2012දී අපේ පක්ෂය පරාජයට පත් වෙනවා. එතකොට මම ආයෙම අත්අඩංගුවට පත්වෙනවා 2014දී… නිදහස් වෙනවා 2015දී. ඔය අතරේදී මගේ මේ හිරේ යන එළියට එන ගමන්වාර නිසා මට මගේ දරු දෙදෙනාගේම උප්පත්තිය මඟහැරෙනවා. මම ඔවුන්ව දකින්නේ ඉපදිලා දවස් ගාණකට එහෙම නැත්තන් මාස ගාණකට පස්සේ.

අවුරුදු ගාණක චක්‍රය බැලුවොත් ඔබ ආයේ ලංකාවට එනවා?

ඔව්. කොළඹට ඇවිත් ටික දවසකින් එංගලන්තෙට යනවා. 2016දී ආයේ ලංකාවට ඇවිත් රාජගිරියේ ධ්ජධදඪජ අපාර්ට්මන්ට් එකේ ෆ්ලැට් එකක් අරන් නවතිනවා. මට තරග කරන්න ආණ්ඩුව ඉඩ නොදුන් නිසා අපි ඉබ්‍රහිම් සොල්හිව ඉදිරිපත් කරලා ඔහු ජනාධිපති වෙනවා. 2019 ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු ගියාම මාව කථානායක ලෙස පත් වෙනවා.

දශක කීපයක් ලංකාවට එන යන නිසා ඔබට මෙහි මිතුරන් ඇති…?

ලංකාවේ තමා මගේ හොඳම යාළුවො ඉන්නේ. අපි කියන්නේ ජීවිත කාලය පුරා යන යාළු මිත්‍රකම් කියලා… අන්න එහෙම යාළුවො මට ඉන්නේ ලංකාවේ.

ඔය යාළුවෝ අතරේ ප්‍රසිද්ධ අයත් ඇති අපි දන්නා කියන?

මම හිතන්නේ මම ඒ මෙන්න මේ අය කියල නම් කරන එක සුදුසු නැහැ. ඒ වගේම මම කියන්න ඕනේ ලංකාවේ පැවැති  හැම රජයක්ම වගේ අපිට බොහොම හොඳ සහයෝගයක් දුන්නා. දැන් ඉන්න ජනාධිපති රනිල් වගේම ඒ කාලේ ජනාධිපති රාජපක්ෂ (මහින්ද) හොඳ අවබෝධයකින් හිටිය අපිට මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, මානව හිමිකම් ආරක්ෂා කරන්න තිබ්බ උනන්දුව සහ දැඩි අවශ්‍යතාව ගැන. ඒ නිසාම ඔවුන් අපට මෙහි රැ‍ෙ¾දමින් දේශපාලන කටයුතු කරන්න ඉඩ දුන්නා. අනෙක් අතට ශ්‍රී  ලංකාව කියන්නේ නීතිමය රාමුවකට නීතියට ගරු කරමින් කටයුතු කරන රටක්.

අපි දේශපාලනය පැත්තකින් තිබ්බොත් ඔබ වඩාත්ම ප්‍රසිද්ධ පාරිසරික කාරණා ගැන. අපට මතකයි ඔබ ලෝකයේ පළමු වරට මුහුද යට රැස් වූ කැබිනට් රැස්වීමක් කළා?

ඔබ අපි වගේ දූපත්වාසීන්ට පරිසරය ගැන අවධානයක්, අවබෝධයක් එන්නේ පුංචි කාලේ ඉඳලම ජානගතව කියල මම හිතන්නේ. ඒක එහෙම නොවෙනවා නම් තමයි ගැටලුව වෙන්නේ. ඉතා කුඩා අවධියේ ඉඳලම අපිට සුළඟේ වෙනස් වීම්, කාලගුණික වෙනස් වීම් ග්‍රහණය වෙනවා. පෘථිවියේ වෙනස් වීම් මනින්න අපට අපගේම කියල දේශීය වූත්, පාරම්පරික වූත් අනන්‍යවුත් දැනුමක් තියෙනවා.

මම ජනාධිපති වුණාම මට අවබෝධ වුණු දෙයක් තමයි රටක් විදිහට ගත්තම අපට තියෙන ලොකුම අභියෝගය ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමවත් මානව හිමිකම් සුරක්ෂිත කිරීමවත් නෙමෙයි ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියන එක. මට විතරක් නෙමෙයි මාලදිවයිනේ ජනාධිපති වන ඕනෙම පුද්ගලයකුට පරිසරය ගැන නොහිතා පැවැත්මක් නැහැ. මොකද මුලින්ම අපිට නැති වෙන්නේ අපේ රට කියන භූමිය.

ඇත්තටම බැලුවොත් කොරල්පර දැක්ක පළමු

පරපුර අපි. මාලේට ගොගල්ස් ආවේ 1970 දශකයේ මැද භාගයේ. අවාසනාව කියන්නේ කොරල් මුලින්ම දැකපු අපි ඊට දශක දෙක තුනකට පස්සේ කොරල්පර මියයෑමත් දකිනවා. දේශගුණික විපර්යාසය කියන්නේ තවදුරටත් න්‍යායක් නෙමෙයි… එය යථාර්ථයක්. ඒ වගේමයි ඒ ගැන නොසිතා අවධානය නොදී ඉන්න ලෝකේ කාටවත්ම හැකියාවක්වත් අයිතියක් වත් නැහැ.

ඔබ ලංකාවට ළැදිත්  මේ නිසාද? ආවම නිතර යන එන තැන් තියෙනවද?

ලංකාවේ විවිධ අවන්හල්වලට යන එකට අමතරව මම අනිවාර්යයෙන්ම ගාල්ල, මීගමුව සහ නුවර යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම නුවරඑළිය සහ මධ්‍යම ක¾දුකරයටත් මම හරි කැමතියි. ඒ වගේම ගෝල්ෆේස් හෝටලය, පිට්ටනිය සහ ඒ අවට ප්‍රදේශයටත් මම පුදුම කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි මම වැඩි කාලයක් වාසය කළේ බත්තරමුල්ලේ. එහෙ තියන ගස්කොළන් සහිත කොළ පාට පරිසරයට මම ගොඩක් කැමතියි. මම බලාපොරොත්තු වෙනවා ලංකාව තමුන්ගේ මේ තියෙන නිල්ල නැති කරගන්නේ නැති වෙයි කියල. නාගරීකරණය, සංවර්ධනය වෙන්න ඕනේ තමයි රටක් විදිහට ගත්තම. හැබැයි ඒක කරන්න ඕනේ ගහකොළ කපලා වනාන්තර එළිකරලා කොන්ක්‍රීට් බිල්ඩින් ගහල නෙමෙයි.

එතකොට ලංකාවේ කෑම බීම ගැනත් හොඳ අවබෝධයක් ඇති  නේ?

ලංකාවේ මොන කෑමද හරි නැත්තේ? පාතරාසයට නම් ඉදිආප්ප අනිවාර්ය අංගයක්. එතකොට කිරිබත්. ඔයාලගේ බත් සහ වෑංජන වර්ග ඔක්කොම වගේ මට  ප්‍රියයි. ඒ වගේම මෙහෙ තියෙන චට්නි වර්ග, පොල් සම්බෝල. කොච්චරද කියනව නම් මට ලංකාවට ආවම හැම තිස්සෙම මතක් කරගන්න ඕනේ කට පරිස්සම් කරගන්න කියලා. සෞඛ්‍යය අමතක වෙනවා කෑම දැක්කම.



ඔබ ඔබේ රට තුළ රජුන් තනන්නෙක් ලෙස හ¾දුන්වනවා. ඔබ ඇත්තටම රජුන් තනන්නෙක් ද?

මෙහෙමයි ඕක වෙන්නේ මට තරග කරන්න බැරි තත්ත්වයක් යටතේ අපේ MDP පක්ෂයෙන් ඉදිරිපත් කළ සොල්හි ජනාධිපති වෙනවා. නමුත් මෑතක් වෙද්දී මට තේරෙනවා අපි හදපු පක්ෂය එහි මූලික අරමුණු ප්‍රතිපත්තිවලින් අෑත් වෙනවා. මානව හිමිකම් මත දැඩි සේ පිහිටලා තමයි අපි පක්ෂය හදන්නේ. ඒ තමයි අපේ අත්තිවාරම. ඒ වගේම අපි ආචාරධාර්මිකයි, භාෂණයේ සහ රැස්වීමේ නිදහස අගය කරනව උපරිමයෙන්ම. නමුත් පසු කාලීනවා ඒවා අයින්වෙලා ගිහින් විතරක් නෙමෙයි අපේ ප්‍රතිපත්ති වුණේ වගකීම් සහගත මූල්‍ය සහ ආර්ථික ක්‍රමයක්. මේවා වෙනස් වෙද්දී මට තවදුරටත් එහි රැඳෙන්න බෑ. මම අයින් වුණා. අනික් අයට පක්ෂය ඉදිරියට ගන්න බැරි වුණා. මම අලුතින් පිහිටවූ පක්ෂයෙන් ඉදිරිපත් කළ මොහොමඩ් මොයිස්සු අද ජනාධිපති වෙලා ඉන්නවා.

එහෙ රජුන් තනන්නා ලෙස ප්‍රසිද්ධ වුණාට ඔබ ලංකාවේ නම් ප්‍රසිද්ධ රජුන් රකින්නා කියලා. විශේෂයෙන්ම 2022 පස්සේ. අපිට කියනවද ඔබ ගෝඨාභය ජනාධිපතිට රැකවරණය දෙන්න ඉදිරිපත් වුණේ  ඇයි කියලා?

මෙහෙමයි මට ඒ ගැන කාරණා දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි එතුමා ඒ වන විටත් ඔබේ රටේ, ඔබ විසින් ඡන්දය දීලා පත් කරපු ජනාධිපති. ලංකාවේ ජනාධිපතිතුමාට මාලදිවයිනට එන්න ඕනේ කියද්දී ඊට එරෙහි වෙන්න අපි කාටවත්ම ඉඩක් නැහැ. අපි කරන්නේ ඒ සංචාරයට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන එක. අපි කළේ ඒකයි. අනික් කාරණය තමා ලංකාව කවදාවත් දේශපාලන කුමන්තුණයකට හසුව බලය අත්පත් කරගත් රටක් නෙමෙයි. ලංකාවේ ආණ්ඩු බලය වගේම ජනාධිපති බලය එකිනෙකට මාරු වුණේ හැම වෙලාවකම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක නීත්‍යනුකූලව.

ඒ වෙලාවේ මම කල්පනා කළේ පවතින තත්ත්වය යටතේ ඔහුව අරගලකරුවන් අතට පත් වුණා නම්  ඔහුව ආක්‍රමණික දණ්ඩනයට යොමු වුණා නම් එය ලංකාවට, මාලදිවයිනට නෙමෙයි මුළු දකුණු ආසියාවේම දේශපාලන රාමුවටම දැඩි බලපෑමක් එල්ල කරන්න ඉඩ තිබුණා.



ඔබට ඔහුට ආරක්ෂාව දෙන්න කියල ඉල්ලුවේ ගෝඨාභය ජනාධිපතිතුමා විසින්මද නැති නම් වෙනත් පාර්ශ්වයක මැදිහත්වීමෙන්ද?

මේ වෙලාවේ ඒ ගැන වැඩි විස්තර කියන්න සුදුසු නැහැ මම හිතන්නේ. මාලදිවයින ඒ වෙලාවේ කළේ හරිම සහ වඩාත් වගකීම් සහගත දේ. අනෙක් අතට බලන්න එතුමා ධුරයෙන් ඉල්ලා අස්වෙලා නව ජනාධිපතිවරයකුට පත් වෙන්න ඉඩ දුන්නා වගේම අලුත් ආණ්ඩුවක් යටතේ ලංකාව අවුරුදු දෙකක් තුළ බංකොලොත්භාවයෙන් මිදිලා යම් ප්‍රගතියක් අත්කර ගන්න සමත් වෙලා තියෙනවා.

ඔබ කිව්වා ලංකාව අවුරුදු දෙකක් තුළ ප්‍රගතියක් ඇති කරගෙන තියෙනවා කියලා. ඔබ හිතනවද ලංකාව සංචාරක කර්මාන්තය දියුණු කරගත්තොත් මේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා?

මෙහෙමයි මට අනුව නම් ලංකාව බංකොලොත් වුණේ ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි. මූල්‍ය කළමනාකරණයේ තිබ්බ ලොකු දුර්වලකමක්  නිසා. ඒ කොහොම වුණත් අද වෙද්දී ඔබල නැඟිටලා තියෙනවා හිටපු අඩියෙන්. සංචාරක කර්මාන්තයෙන් දැනටම ප්‍රගතියක් පෙන්වා තියෙනවා. හරි ක්‍රමයට, මේ තියෙන ලස්සන රැකගෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොත් ඔබට තව අවුරුදු දහයකින් වගේ සංචාරකයන් බිලියනයක ඉලක්කයකට යන්න පුළුවන්.

අමතක කරන්න එපා ලංකාව ලෝකේ ධනවත්ම රටවල් හත අට අතර තිබ්බේ. ඔබල දෙවන ලෝක යුද්දෙ කාලේ බි්‍රතාන්‍යයට ණය දුන්නා. හොයල බලන්න වටිනවා ඔවුන් ඒවා නැවත ගෙව්වද කියලා. මම මුලින් කිව්වා වගේ ලංකාව ණය දෙන රටක ඉඳන් ණයබරිත බංකොලොත් රටක් වුණු හැටි හිතාගන්න අමාරුයි. හැබැයි මට විශ්වාසයි ලංකාව මේ තත්ත්වයෙන් ගොඩ එනවා.

මාලදිවයින වගේම ලංකාවත් මේ වෙද්දී ලෝක බලවතුන් දෙදෙනකුගේ, ඉන්දියාව සහ චීනයේ බල අරගලයට මැදිවෙලා ඉන්නේ. මේ තත්ත්වය ලංකාවට විශේෂයෙන්ම ඉදිරි කාලසීමාවේ මොන වගේ බලපෑමක් ඇති කරයි කියල ඔබ හිතනවද?

මෙහෙමයි ඕනෑම රාජ්‍යයක් තවත් රටකට ඕනවට වඩ ණයගැති වීම යහපත් ප්‍රතිඵල ඇති කරදෙන්නේ නැහැ. ලංකාව මේ වන විට චීනයෙන් අතිමහත් ණය කන්දරාවක් අරන් තියෙනවා. මේ ණය අරන් හදපු ව්‍යාපෘති දුවන්නේ නැත්තන් ඔබ කොහොමද ණය ගෙවන්නේ? මෙහෙම හිතමු ඔබ චීනයෙන් ණය අරන් ගුවන්තොටුපළක් හැදුවා. තව වරායක් හැදුවා. ඒ ගුවන්තොටුපළ අක්‍රියයි නම්, වරායට නැව් එන්නේ නැත්තන් කොහොමද ණය ගෙවන්නේ. එහෙම වුණාම අනෙකුත් ආදායම් ණය ගෙවීම සඳහා යොදන්න වෙනවා. ශ්‍රී  ලංකාව අතීතයේ ඉඳන්ම එහි පිහිටීම නිසාම අනෙකුත් රජයන්ගේ අවධානය යොමු කරගත්තා.

එතකොට ඉන්දියාව, චීනය කියන්නේ සතුරු කණ්ඩායම් දෙකක්. ඉන්දියාව චීනය ලංකාව තුළ ඇති කරගන්න ඉඩ ගැන සැලකිලිමත් මොකද එය ඔවුන්ගේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නිසා. ඉන්දියාව ගත්තම සියවස් ගණනාවක් අපේ අසල්වැසියෙක් ලෙස සිටි රටක්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මාලදිවයින, ශ්‍රී  ලංකාව ඇතුළුව ඉන්දියන් සාගරයේ දිවයින් විශේෂයෙන්ම ඉන්දියාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි කියලා.

ඔබ කථානායක ලෙස කටයුතු කරද්දී දරුණු ප්‍රහාරයකට ලක්වෙනවා විතරක් නෙමෙයි මරණය පෙනෙන තරමට ළං වෙනවා. මේ වන විට ඔබ සම්පුර්ණ සුවය ලබලද ඉන්නේ?

බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ මැයි 6 වැනිදා දවසක. ඔබත් එක්ක මේ කතා කරද්දී සිදුවීමට අවුරුදු තුනක් සම්පූර්ණ වෙලා දවස් දෙකක් වෙනවා. දෙවියන්ගේ පිහිටෙන් මගේ ජීවිතය රැකුණා. ශාරීරිකව මම දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. සුපුරුදු ව්‍යායාම කරගෙන මගේ කටයුතු කරගන්නවා, ඉඳල හිටලා අතේ ඇඟිලිවල යම් යම් හිරිවැටීම් සිද්ධ වුණත්.

සිද්ධිය ගැන කිව්වොත් ඒක හරිම භයානක මතකයක්. මම පැය 28කට වඩා සිහිනැතිව හිටියේ. ආපහු ජීවිතෙ දීල මම හිතනවා දෙවියන් මට පණිවුඩයක් දුන්නා කියලා. ඒ කියන්නේ මට තව යුතුකම් වගකීම් ඉටු කරන්න වගේම වැඩ කරන්න තියෙනවා. පුළුවන් හැමවෙලේම කාගේ හරි යහපත වෙනුවෙන් යහපත් දේ කරන්න තියෙනවා. ඒක  නිසයි මැරෙන්න ගිය මට නැවත ජීවිතය ලැබුණේ.

ගගනි වීරකෝන් (Mawbima)