mahinda-speaks

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තෙක් රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු තීරණ සහ පියවර අත්හිටුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.



රජයට අයත් ඇතැම් වත්කම් හා ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටසේදී රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.