health-strike-tomorrow

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක මාසික දීමනාව තමන්ටද ලබාදෙන්නැයි බල කරමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72කට අයත් සේවක සේවිකාවෝ හෙට (9) වැඩ වර්ජනයක නිරත වෙති.සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙනවා යැයි ලිඛිත පොරොන්දුවක් දුන්නත් එම එකගතා නිවැරැදි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස් කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තත් එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටු වී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. අදාළ තාක්ෂණික වාර්තා වේ සඳහන්වන්නේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්,

ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවට රජයේ එකගතාවය වුවද, ඉතිරි කොටස පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එසේම මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර ඇති බවත් කුමුදේශ් මහතා කීවේය.නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳවද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.මේ පිළිබඳව සැලකිල්ලට ගෙන මැයි මස 9 වැනි දින සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බවත් කුමුදේශ් මහතා කීවේය.

රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ජනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.ඒ අනුව මැයි 9 වෙනිදා උතුරු මැද පළාතේත්, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත තුළත්, 14 වෙනිදා සබරගමුව පළාතේත්, 15 වෙනිදා වයඹ පළාත තුළත්, 16 වෙනිදා දකුණු පළාතේත්,

විසිවෙනිදා ඌව පළාත තුළත් සහ 21 වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් කුමුදේශ් මහතා කීවේය.

ජිව වෛද්‍ය ඉංජිනේරු, පරිපූරක වෛද්‍ය, රසායනාගාර විද්‍යාඥ ඖෂධ වේදී, භෞතික චිකිත්සකයන්, වෘත්තීය චිකිත්සකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රසායනාගාර ශිල්පී, දන්ත කාර්මිකයන්, ඇතුළු සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය.මේ සඳහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ලබන 22 වන දා සිට නැවත වතාවක් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් ඔහු තවදුරටත් කීවේය.වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව මෙයට පෙරද අවස්ථා කිහිපයකදී වර්ජනයක නිරත විය.