srilankan-flower-boy-china

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබදව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙමින් පවතී. චීන රටේ වැසියන් පිරිසක් විසින් මෙරට යෙදුණු සංචාරයකදී හසුකරගත් රූප රාමු පෙළක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම හරහා ශ්‍රී ලංකාවේ මල් කුමාරයා පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ මල් කුමාරයාගේ විවිධ ඉරියව් සහිත අතිශය දැකුම්කලු චිත්‍ර රැසක් චීන ජාතිකයන් විසින් සිතුවම් කිරීමෙන් පසු, ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර තිබේ.බොහෝ පිරිසක් මල් කුමාරයා  සම්බන්ධයෙන් විවිධ සටහන් අතිවිශාල ප්‍රමාණයක් තබා ඇති අතර, ඒවා කියවීමේදී ශ්‍රී ලංකා මල් කුමාරයා පිළිබදව චීන ලදුන් ඇතුළු චීන වැසියන් දැඩි සේ ආදරය දක්වන බව පෙනේ.

නිරන්තරයෙන් මුවගේ රැඳි අව්‍යාජ සිනහවෙන් චීන ලදුන් මේ වනවිට මුසපත් කොට වශී කර ගැනීමට තරම් වාසනාවන්ත වීමට අපේ මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙකී මල් කුමාරයා නුවරඑළිය, කොණ්ඩගල ප්‍රදේශය මුල්කර ගනිමින් මල් විකිණීමේ යෙදී සිටින තරුණයෙකු වන දිලීප් මධුශංකය.

දැනට 17 හැවිරිදි වියේ පසුවන දිලීප්, මේ වනවිට චීනයේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටී.

විදෙස් සංචාරකයන් පැමිණෙන බස් රථ ඇතුළු වාහන පසුපස කිලෝමීටර් හතරක පමණ දුරක් දිනකට වාර ගණනාවක්, එනම් කිලෝමීටර් 15ක 20ක පමණ දුරක් දිව යමින් මල් විකිණීමේ යෙදී සිටින දිලීප් මධුශංක පදිංචිව සිටිනුයේ කොත්මලේ පුරවරයේය. 10වැනි ශ්‍රේණියෙන් පසු සිය අධ්‍යාපන කටයුතුවලට තිත තැබූ දිලීප් මේ වන විට ස්ථිර මල් විකුණන්නෙකු බවට පත්ව සිටී.මේ සම්බන්ධයෙන් තම අදහස් දැක්වූ දිලීප් මධුශංක තරුණයා මෙසේ පැවැසීය.

"ලබුකැලේ, වෙදමුල්ල, පලාගොල්ල ආදී ප්‍රදේශවල ගෙවල්වලට ගොස් මල් රැගෙනවිත් ඒ අසල පිහිටි කැලෑවට ගොස් විවිධ ලස්සන කොළ වරිග ගෙනවිත් ලස්සනට මල් පොකුරු හදලා තමයි විකුණන්නේ. විදේශිකයන් එන බස්, වෑන්, කාර් පසුපස හැමදාට මල් විකුණන්න දුවනවා. සමහර සංචාරක වාහන නතර කරනවා. කිලෝමීටර් හතරම පහළට දිව්වත් සමහර සංචාරක වාහන නතර කරන්නේ නැතිව යනවා.



සම්පූර්ණ මල් පොකුරක් රුපියල් 3500කට තමයි විකුණන්නේ. සමහර විදෙස් සංචාරකයන් මම කියන ගාණටත් වඩා මුදලක් දීලා මල් අරන් යන අවස්ථාත් තිබෙනවා. සමහරදාට එක මලක්වත් විකුණා ගන්න බැරි අවස්ථාත් තිඛෙනවා. මල් විකුණා ගන්න කොණ්ඩගල ඉදන් පලාගොල්ල දක්වා කිලෝමීටර් හතරක්, පහක් උඩට පහළට දුවනවා. එසේ දිව යද්දී ඇතැම් වාහන නතර කරලා මලක් හරි අරගන්නවා. ගොඩක් වාහන නතර කරන්නේම නැතිව යනවා. මෙහෙම දවසකට කිලෝමීටර් 15ත් 20ත් අතර උඩට පහළට දිවයනවා. එහෙට දුවද්දී වැටිලා තුවාල වෙලත් තියෙනවා. ”

චීනයේ ප්‍රසිද්ධව ඇති අයුරු සහ ඒ සම්බන්ධයෙන් යන වීඩියෝ පට, චීන ජාතිකයන් තබා ඇති සටහන්, සිතුවම් හා අපේ රටේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සිදුවීම් දැක තිබේදැයි අප කළ විමසුමට දිලීප් මධුශංක මෙසේ පැවැසීය.



"කට්ටිය මට ඒ වීඩියෝවන් පෙන්නලා තිඛෙනවා. බොහෝ සංචාරක මග පෙන්වන මහත්වරු මට මා ගැන යන වීඩියෝ පෙන්නවා. සංචාරකයන් මා ගැන කියන ගොඩක් විස්තර ඒ අය මට කියනවා නිතරම. ඒත් ඒවා ගොඩක් මතක නැහැ මට. මා බලන්න චීනයේ ඉඳන් විශේෂ සංචාරකයන් පිරිසක් ළඟදිම එනවා කියලා සංචාරක මගපෙන්වන මහත්තයෙක් කිව්වා.

මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. දිගමට මල් විකුණාගෙන ඉන්න ලැබුණොත් ඇති. ඒකට මට කොණ්ඩගල ප්‍රදේශයෙන් පාර අයිනේ කුඩා කඩ කාමරයක් හදා ගන්න තිබුණොත් මගේ රැකියාවට ලොකු හයියක් වේවි. මොකද මල් හොයා ගෙන ඇවිත් එතන තියලා මල් පොකුරු හදලා විකුණන්න එවිට පහසුයි.”මෙරටට මහත් ගෞරවයක් ගෙනදීමට දිලීප් මධුශංක තරුණයා මේ වන විට සමත්ව සිටී. ඒ ඔහුගේ අපිරිමිත කැපවීමත්, නොපසුබට උත්සායත්, අව්‍යාජ සිනවහත් හා අවංකකමත් හේතුවෙනි. මෙවැනි තරුණයන් තව තවත් දිරි ගැන්වීම සඳහා රජයේ වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතුය.

ශාන් හුලංනුගේ