hanwella-incident

හංවැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය කිරීම සඳහා ඊයේ (05) රාත්‍රී අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බව හංවැල්ල පොලිසිය පවසයි.බිරිය ඝාතනය සඳහා එම සැකකරු අදාළ නිවසට පැමිණ ඇති බවත්, එම අවස්ථාවේදී කාන්තාව නිවසින් පලා යාමත් සමග වයස අවුරුදු 10ක දැරියක සහ වයස අවුරුදු දෙකක පුතකු වන තම දරුවන් දෙදෙනා අත් බෝම්බයක් සමග එම නිවසේ ඉහළ කාමරයක සිරකර ගෙන සිටින බවත් පොලිසිය පවසයි.



සැකකරු අත් බෝම්බයේ අඟුල හැර තබාගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගෙන තබා සිටි බවත්, එම අවස්ථාවේදී බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් සැකකරු සමග සාකච්ඡා කර අත් බෝම්බයේ අඟුල යළි ස්ථාන ගත කිරීමට කටයුතු කර ඇත. කෙසේ වුවද සැකකරු දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන බිරිය ගෙන්වා දෙන ලෙසට පවසන බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු විදේශගතව සිට කෙටි කලකට පෙර මෙරටට පැමිණ ඇති බවත්, අඹු සැමියන් අතර ඇතිවූ අඩ දබර නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයකු සමග ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට පැමිණ බිරිඳ ඝාතනය උත්සාහ කර ඇති බව ද පොලිසිය පවසයි.පොලිස් විශේෂ කාර්ය බළකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ හංවැල්ල පොලිසිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයෙන් බේරා ගැනීම සඳහා රාත්‍රී 10.30 වන විටත් කටයුතු කරමින් සිටින ආකාරය දැක ගත හැකි විය.
කේ. බුද්ධික කුමාර