anuradapura-sahira-ol

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක, විභාග මධ්‍යස්ථානයට කඩා වැදී සිසුන් පිරිසකට පහරදීමට යාමේදී, ඊයේ (14) එහි දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. එහිදී විද්‍යාලයේ කාර්යාල දේපළවලට ද හානි සිදුව සිසුන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බව ද වාර්තාවේ. අනුරාධපුර දුර බැහැර ප්‍රදේශයක් වන ගම්බිරිගස්වැව මනාර්ල්ලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක් ද, මෙම පාසලේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්ත කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ සහ ගම්බිරිගස්වැව විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුම හට ගෙන ඇති බව පොලිසිය කියයි.ම

ෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දා සිට මේ දක්වා දෙපිරිස අතර නිරන්තරයෙන් බහින් බස්වීම් සිදුව ඇති අතර පෙරේදා 13 උදෑසන, මෙම ගැටුම හටගත් අවස්ථාවේදී එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුර දිග ගොස් ඇතැයි පොලිසිය පවසයි.එම අවස්ථාවේ දී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් සිසුවකුගේ මවක සිසුන් කිහිපදෙනකුට පහර දීමට ගොස් එක සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැණ කලහකාරී ලෙස හැසිරී ඇති බව මවුපියෝ පිරිසක් පැවැසූහ.

මෙ අතර මෙම ගැටුම දුරදිග යාමෙන් සහිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ ජනෙල් කිහිපයකට පහරදී වීදුරු කඩා දැමීම හේතුවෙන් දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. විභාගයට අදාළව පෙරේදා උදෑසන පැවැති එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමෙන් අනතුරුව සිසු සිසුවියන් පිරිසක්, විවේක කාලයේදී ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියට දිව යන ආකාරය ද මෙහිදී දැක ගත හැකි විය.

ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාසල් සිසුන් කිහිපදෙනකුට සුළු තුවාල සිදුව ඇති අතර ගැටුමට මුල් වූ බව කියන, සිසුවෙක් තදබල ලෙස පහර කෑමට ලක්ව විභාගය අවසානයේදී ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.ගැටුම සම්බන්ධ පුවත පැතිර යෑමත් සමග විභාගය අවසානයේ දී යළිත් ගැටුම්කාරී තත්වයක් ඇතිවේ යැයි බියෙන් සිසු දරු දැරියන් බොහෝ පිරිසකගේ මවුපියෝ ඥාති පිරිස්, සහිරා විද්‍යාල ඉදිරිපිටට රැස්ව සිටියහ.

විභාගය අවසාන වූ අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි පළාත් අධ්‍යාපන බලධාරියකු, මවුපියන් සහ දරු දැරියන් එක් ස්ථානයකට කැඳවා කියා සිටියේ, වසර 11 ක් පාසල් අධ්‍යාපනය හදාරා මේ ආකාරයට හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවය.ඊට මවුපියන් ද වගකිවයුතු බව ඔහු පැවැසීය. තව දින දෙකක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවත් එම දින දෙක තුළ දී මේ ආකාරයෙන් කලහකාරී සිදුවීමක් ඇති කර ගත හොත් ඒ සම්බන්ධයෙන් ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු කරන බවත් හෙතෙම කීය.එසේ වුවහොත් එම සිසුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පවා එය බාධාවක් විය හැකි බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.මෙ අතර ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සලකා බලා, පොලිස් ඇප මත මුදා හැරි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.


බී.ජී. චතුරංග