tharushi-give-up-thailand-tour

මැයි 22 - 23 යන දිනවලදී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ තරගාවලියෙන් ඉවත් වීමට ආසියානු රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න තීරණය කර තිබේ. එහෙත් ජූනි 1 - 2 දෙදින තායිවානයේදී පැවැත්වෙන එරට ජාතික විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් එහිදී මිටර් 800 (කාන්තා) ඉසව්වට තමන් තරග වදින බව ඇය පවසයි.මෙම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේෂ ලබා ගැනීමේ අවස්ථාවට මුල් තැන දෙමින් තමා මෙම තීරණ වලට පැමිණි බව ඇය පවසයි. ජපානයේ ඔසාකා නුවරදී පසුගිය ඉරිදා පැවැති ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමෙන් පසුව ඇය පෙරළා දිවයිනට පැමිණියේ පෙරේදා (13) රාත්‍රියේදීය.අසනීප තත්ත්වයක් මත ඔසාකා නුවරදී තරග වැදීමෙන් වැළකී සිටි තරුෂි ඊට පෙර ඩුබායි නුවරදී මැයි 3 වැනිදා පැවැති ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී සිය කේවල ඉසව්ව වන මීටර් 800 (කාන්තා) ඉසව්වට තරග වදිමින් සිටියදී අතරමග ඉවත් වූවාය. ඇගේ මෙම හැසිරීම මේ වන විට දැඩි අවධානයට යොමුවී තිබෙන තත්වයක් තුළදී ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා කළ කරුණු විමසීමකදී පැවැසුවේ

තරුෂි පාදයේ ආබාධයක් හේතුවෙන් ඔසාකා නුවරදී තරග නොවැදුණු බවට කෙරෙන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නොමැති බවයි.ඔහු මෙසේද පැවැසීය.

"ඇත්තටම ඔසාකා නුවරදී වුණේ කෑම ගැනීමෙන් පසුව තරුෂිට බඩේ අමාරුවක් ඇති වීමයි. මේකට ප්‍රතිකාර ගන්න ලොකු මහන්සියක් වෙන්න වුණා. අපට එහිදි ඔසාකාවල ඉන්න මෙරට වෛද්‍යවරුන් ගෙනුත් උපදෙස් ගන්න සිදුවුණා.ඇයට වෙනත් ශාරීරික වශයෙන් මේ කියන මොහොත වන විටත් කිසිදු ආබාධයක් නෑ. ඇගේ කකුලක පවතින ආබාධයක් ගැන සමහරු කතා කරලා තිබ්බා. ඇය ඔසාකා ගිහින් ආවට පස්සේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට කතා කරලා කිව්වා මේ ගැන සැකයක් ඇත්නම් ඕනෑම වෛද්‍ය පරීක්ෂණයකට හෝ ශාරිරික අභ්‍යාසයකට පෙනී සිටින්න සූදානම් කියලා.මම ඇයට කිව්වේ පේස් බුක් වල යන ඒවා ගැන කලබල වෙන්න එපා.

ඔයාගේ පුහුණු කටයුතු දිගටම කර ගෙන යන්න කියලයි.' මේ අතර පැරිස් ඔලිම්පික් සුදුසුකම් අපේක්ෂාවෙන් තරුෂිද ඇතුළත් මිටර් 4x400 (කාන්තා) සහාය දිවිමේ කණ්ඩායම බැංකොක් ආසියානු සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ආයතනය මේ වන විට නිර්දේෂ කර තිබේ.

තරුෂිගේ ඉවත් වීම ඊට බාධාවක් විය හැකි වුවත් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් තරග සංචාරයට යොදා ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.තරුෂි මිටර් 800 ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට නම් අවම විනාඩි 1 තත්පර 59,30 ක හැකියාවක් පළ කළ යුතුය. සුසන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ඒ සදහා ඇයට අවස්ථාවක් ඉදිරියේදි උදා නොවූවත් මෙතෙක් ඇය ඉසව්වේ පළ කර තිබෙන දක්ෂතා අනුව දැනට එකතු වී තිබෙන ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාවක් ඇයට හිමිව තිබෙන බවයි.

නාමල් පතිරගේ