software-engineer-arrested

 ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.අත්අඩංගුවට ගැනුණ සැකකරු තවත් තවත් මාස කිහිපයකින් ඕස්ට්‍රේ ලියාවේ රැකියාවක් සඳහා යාමට මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මේ දිනවල පාඨමාලාවක නිරතව සිටි බව පොලිසිය කියයි.



හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයකු නුගේගොඩ විජේරාම හන්දියට පැමිණෙන බවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට, බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව පිහිටුවන ලද ස

ංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ කණ්ඩායමේ උපපොලිස් පරීක්ෂක මදුරංග මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් නුගේගොඩ විජේරාම හන්දියට ගොස් ආවේශන රාජකාරියෙන් රැඳී සිටියදී තොරතුරට අදාළ යතුරුපැදිය පැමිණ තිබේ.එම අවස්ථාවේදී එය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238 , කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 100,000 මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය, තොගය ඉතාලියේ සිට කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට ලැබෙන බවත් එම මත්ද්‍රව්‍ය කොළඹ අවට ධනවත් ව්‍යාපාරිකයන්ට බෙදා හැරීම සඳහා සැකකරු වසරක පමණ සිට අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බවත් ඒ සඳහා ඔහුට යහමින් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවැසේ.සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රුපියල් ලක්ෂයක මුදල එදින මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.මේ වන විට කඩවත ප්‍රදේශයේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පැවැසේ. අත්අඩංගුවට ගත් රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු ඊයේ (29) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසියට භාරදෙනු ලැබ සිටී.
 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න